ශුද්ධ වූ අර්නස්ට් මුනිඳුන්
අද දින සුදුවර චරිතයෙන් නොවැම්බර් 07වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ අර්නස්ට් මුනිඳුන් ගැන කතා කරමු.
අර්නස්ට් යනු ජර්මානු නමක් වන නමුත් මෙතුමන්ගේ ජීවිතය ගැන වැඩි යමක් සඳහන් වී නැත. ඔහු ජර්මනියේ ස්ටීස්ලින්ගන්හි වංශවත් පවුලක උපත ලැබූ බවත් ඔහු තම සහෝදරයන් දෙදෙනා සමඟ ස්වාබියාවේ තාපසාරාම ප්‍රතිසංස්කරණය කිරිමෙහිලා දායක වූ බව කියැවේ. අර්නස්ට් පැවිදි ජීවිතයට පිවිසියේ කෙසේද සහ කවදාද යන්න පැහැදිලි නැත. වර්ෂ 1131 සිට සහෝදරයන් තිදෙනා විසින් ස්විෆල්ටන් වෙත කරන ලද පරිත්‍යාගයකින් ඇඟවෙන්නේ ඔවුන් ඒ කාලයේදීම පැවිදි දිවියට ඇතුළු වී ඇති බවයි.
ලතින් රාජධානිය ආරක්ෂා කිරීම සහ සිරියාවේ සෙන්ගිගේ ප්‍රගතිය අඩාල කිරීම සඳහා ශාන්ත බර්නාඩ් තුමා දෙවන කුරුස යුද්ධයට සහභාගී වන ලෙස ඉල්ලා සිටි විට, ජර්මානු රජු වූ III වන කොන්රඩ් සහ අර්නස්ට් ඇතුළු තවත් වංශාධිපතීන් ඊට එකඟත්වය දැක්වීය. අර්නස්ට්, රජුගේ සහෝදර ෆ්රීසිං හි රදගුරු ඔටෝගේ නායකත්වයෙන් යුත් වන්දනාකරුවන් සහ සටන්කරුවන් පිරිසක් සමඟ සම්බන්ධ විය. එම කුරුස යුද්ධය සාර්ථක නොවු අතර ජර්මානු හමුදාව විශාල පසුබෑමකට මුහුණ දුන්නේය. දැඩි සාගින්නෙන් හා තුර්කි හමුදාවන්ගේ සැඟවුණු පහරදීම් වලින් කිතුනුවන් බොහෝ දෙනෙකු සිරකරුවන් බවට පත් වී පීඩා විඳි අතර ඝාතනයට ද ලක් විය.
අර්නස්ට්ගේ ජෙරුසලමට පැමිණිම ගැන හෝ ඔහුට සිදු වූ දේ ගැන ඇසින් දුටු සාක්ෂියක් හෝ සමකාලීන වාර්තාවක් නොමැති නමුත් දොළොස්වන සියවසේ පසුකාලීන චරිතාපදානයකට අනුව අර්නස්ට් තවත් කිතුනු සිරකරුවන් 40 දෙනෙකු සමඟ මක්කම වෙත ගෙන ගොස් "පර්සියාවේ රජු" වෙත ඉදිරිපත් කරන ලදී. රජතුමා අර්නස්ට් සහ අනෙකුත් කිතුනුවන්ට ඔහුගේ මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ට වන්දනාමාන කරන ලෙස අණ කළ නමුත් අර්නස්ට් දැඩි ලෙස එය ප්‍රතික්ෂේප කළේය. එම නිසා අමානුෂික වධ හිංසාවලට ලක් වූ ඔහුව නැවත වරක් පිළිම ඉදිරියට ගෙනැවිත් නමස්කාර කරන ලෙස පවසන ලදී . ඒ වෙනුවට ඔහු පිළිම වලට ගල්වලින් පහර දී එවා කැබලි වලට කඩා දැමීය.
වර්ෂ 1148 දී දරුණු ලෙස පහර දීමෙන් එතුමන්ව ඝාතනය කරන ලදී.
දෙවිඳුන් කෙරෙහි ඇති අචල විශ්වාසය නිසා ප්‍රාණපරිත්‍යාගී වු, ශුද්ධ වූ අර්නස්ට් මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.
#StErnest #Prayforus
#saintoftheday #rvasinhala
'RVASinhala' Facebook, Instagram, Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!