ශුද්ධ වූ ලෙනාඩ් මුනිඳුන්

අද දින සුදුවර චරිතයෙන් නොවැම්බර් 06වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ ලෙනාඩ් මුනිඳුන් ගැන කතා කරමු.

ක්‍රිස්තු වර්ෂ 496 වසරේ මැයි 19 වන දින උපත ලැබුවා යැයි සැලකෙන ලෙනාඩ් 11 වන ශතවර්ෂයේ බිහිවූ වාර්තාවකට ඇති අනුව, මෙරොවොජියන් රාජවංශයේ නිර්මාතෘ වන පළමුවන ක්ලෝවිස්ගේ රාජසභාවේ ප්‍රංශ ජාතික වංශාධිපතියෙකි. වර්ෂ 496 නත්තල් දිනයේදී රැම්ස් හි රදගුරු ශු. රෙමිජියස් තුමන් විසින් රජු සමඟ ඔහුව ද ක්‍රිස්තියානි ආගමට හරවා ගන්නා ලදි. ඕනෑම වේලාවක තමාට සුදුසු යැයි සිතන සිරකරුවන් නිදහස් කර ගැනීමේ අයිතිය තමාට ලබා දෙන ලෙස ලෙනාඩ් ක්ලෝවිස් රජුගෙන් ඉල්ලා සිටියේය.

ලෙනාඩ් සිරකරුවන් කිහිප දෙනෙකු නිදහස් කර ගත් අතර, ඔහු සිරකරුවන්ගේ නාම සාන්තුවරයා බවට පත්වූයේ එබැවිනි. රදගුරුවරයෙක් විමට තිබූ අවස්ථාව ප්‍රතික්ෂේප කරමින් ඔහු ශාන්ත මෙස්මින්ගේ සහ ශාන්ත ලීගේ මඟපෙන්වීම යටතේ ඕර්ලියන්ස් අසල මිසි හි තාපසාරාමයට ඇතුළු විය. ඔහු පිළිබඳ පුරාවෘත්තයට අනුව ලෙනාඩ් ලිමුසා වනාන්තරයේ තාපසයකු ලෙස දිවි ගෙවන්නට පටන් ගත් අතර එහිදී ඔහු අනුගාමිකයන් ගණනාවක් එක්රැස් කර ගත්තේය. ඔහුගේ යාච්ඤාව මගින් ප්‍රංශයේ රැජින ආරක්ෂිතව පිරිමි දරුවෙකු මෙලොවට බිහි කළ අතර, ඊට ප්‍රතිඋපකාර ලෙස ලෙනාඩ්ට ලිමූජ්ස් සිට කිලෝමීටර් 21 ක් දුරින් වූ නොබ්ලැක් හි රාජකීය ඉඩම් පවරා දෙන ලදී. එහිදී ඔහු විසින් තාපසාරාමයක් ආරම්භ කළ අතර ඒ හේතුකොටගෙන අසල පිහිටි ගම්මානය ද වර්ධනය වන්නට පටන් ගත්තේය. ඔහු හට ගෞරවයක් පිණිස එම ගම්මානය ශාන්ත ලෙනාඩ්-ඩි-නොබ්ලාට් ලෙස නම් කෙරිණ.

පුරාවෘත්තයට අනුව, සිරකරුවන් ඔවුන්ගේ සිරකුටිවල සිට ඔහුගේ යාච්ඤාවේ පිහිට අයැද සිටි අතර ඔවුන්ගේ ඇස් ඉදිරිපිට දම්වැල් කැඩී යන අයුරු දුටුවෝය. බොහෝ දෙනෙක් පසුව ඔහු වෙත පැමිණ, ඔවුන්ගේ බර දම්වැල් සහ යකඩ ගෙනැවිත් ගෞරවයක් ලෙස ඔහු හට පුද කළහ. ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් ඔහු සමඟ රැඳී සිටි අතර, අවංක ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට හැකි වන පරිදි කෙත්වල වෙහෙස මහන්සි වී වැඩ කිරීමට ඔහු සතු භූමියෙන් කොටසක් ඔවුන්ට ලබා දුන්නේය.

ක්‍රිස්තු වර්ෂ 559 වසරේදී එතුමාණන් සග ලොව දිනා ගත් බව සැලකෙන අතර මධ්‍යතන යුගයේ අග භාගයේ සිටි වඩාත් ගෞරවයට පාත්‍ර වූ සාන්තුවරයකු බවට එතුමන් පත් විය.

#StLeonard #Prayforus
 #saintoftheday #rvasinhala

'RVASinhala' Facebook, Instagram, Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!