ශුද්ධවූ ඇලෝසියස් ගොන්සාගා මුනිදුන්

අද දින සුදුවර චරිතයෙන් ජූනි 21 වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධවූ ඇලෝසියස් ගොන්සාගා මුනිදුන් ගැන කතා කරමු.
ඇලෝසියස් මුනිඳුන් උපත ලබන්නේ 1568 මාර්තු 09 දින උතුරු ඉතාලියේ බ්‍රෙසියා සහ මැන්ටුවා අතර කැස්තිලිඔනේ දෙල් ස්තිවියෙර් හි පිහිටි මාලිගාවක ය. එතුමන්ගේ පියා ෆෙරන්තේ දෙ ගොන්සාගා නම් වූ අතර මව මාර්තා තානා දි සන්තේනා නම් විය. දරුවන් සත් දෙනකුගෙන් යුත් ගොන්සාගා පවුලේ වැඩිමල් දරුවා වූයේ ශුද්ධ වු ඇලෝසියස් මුනිදුන් ය.
කුළුඳුල් පුතණුවන් ලෙස, තම පියාගේ උරුමය හිමිව තිබුණේ ඔහුට ය.
තම වැඩිමහල් පුතු සොල්දාදුවකු වනු දැකීම පියාගේ කැමැත්ත විය. එය රදල පැලැන්තියේ පිරිමි දරුවන් සඳහා වූ සම්ප්‍රදායක් වී තිබූ බැවිනි. එබැවින් ඇලෝසියස් හට යුද පුහුණුව ලබාදීමකුඩා කල සිටම ඇරඹිණි. එම කාලයේ දීම භාෂා හා කලාව පිළිබඳ අධ්‍යාපනයක් ද එතුමන්ට ලැබිණි.
ඉතාලි පුනරුදයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය නිසා තම සොහොයුරන් දෙදෙනකුගේ ජීවිත අහිමි වූ ඇලෝසියස් මුනිඳුන්, 1576 දී තම බාල සොයුරා වන රොඩොල්ෆෝ සමග වැඩිපුර අධ්‍යාපනය සඳහා ෆ්ලෝරන්ස් නගරයට නික්ම ගියේය. එම කාල වකවානුවේ දී වකුගඩු රෝගයක් වැළඳීම හේතුකොටගෙන එය නිසා ජීවිත කාලය පුරාම විඳවීමට ඔහුට සිදුවිය.
අසනීපව සිටින කාලයේදී ශුද්ධවන්තයින් ගේ ජීවිත කතාවන් කියවන්නටත්, වැඩි වශයෙන් යාඥා කිරීමටත් ඔහු පෙළඹිණි. යොවුන් වියේදීම තම ජීවිතයේ වෘත ශුද්ධිය වෙනුවෙන් පුද්ගලික වූ පොරොන්දුවක් ඔහු විසින් ගන්නා ලදී.
1580 ජුලි 22 වන දින කාදිනල් චාල්ස් බොරොමියො හිමිපාණන් අතින් ප්‍රථම වතාවට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාගන්නට එතුමන්ට හැකි විය.
ඉන්දියාවේ ජේසු නිකායික මිෂනාරිවරුන් පිළිබඳ පොතක් කියවීමෙන් පසුව ඇලෝසියස් මුනිඳුන්ට ද මිෂනාරි වරයෙකු වීමේ ආශාවක් තදින් දැනුණි. ග්‍රීෂ්ම සෘතුවේ දී තමන් ජීවත්වූ ප්‍රදේශයේ තරුණයින් එක්කොට ඔවුන් හට ධර්මෝපදේශ පන්ති පවත්වන ලදී.
ඇලෝසියස් මුනිදුන්ට පූජකයෙකු ඉවීමට තදින් කැමැත්තක් ඇති වුණත් පවුලේ සමහර සාමාජිකයින් ඊට හරස් විය.
නමුත් ඔවුන්ගේ බලපෑම නිරර්ථක විය.
1585 නොවැම්බර් මාසයේදී ඇලෝසියස් මුනිදුන් තම උරුමයන් සහ අයිතිවාසිකම් සියල්ල අතහැර දමා රෝමයට ගොස් 1585 නොවැම්බර් 25 වන දින ජේසු නිකාය ආධුනික දෙව්සත්හලට ඇතුළු විය.
ඇලෝසියස් මුනිදුන්ගේ සෞඛ්‍යය ගැටලු දිගින් දිගට ඇතිවිය. වකුගඩු රෝගයට අමතරව සමේ රෝග නිදන් ගත හිසරදය සහ නින්ද නොයාම වැනි රෝගවලින් ද පීඩා වින්දේය.
1587 නොවැම්බර් 25 කුරණ දින ඔහු වෘතශුද්ධියේ, දිළිඳු කමේ සහ කීකරුකම පොරොන්දු භාරගත්තේය. ඉන්පසු පැවිදි ජීවිතයට ඇතුළු වීමට සුදුසුකමක් ලෙස දේව ධර්ම ශාස්ත්‍රය හැදෑරීම ආරම්භ කළේය.
1591දී රෝමයේ ඇති වූ වසංගතයක් හේතු කොට ගෙන පීඩාවට පත්වූවන් සඳහා ජේසු නිකාය රෝහලක් විවෘත කළ අතර ස්වෙච්ඡාවෙන් එහි සේවය කිරීමට ඇලෝසියස් මුණිදුන් ඉදිරිපත් විය. මෙම සේවාව අතරතුර එතුමන් බෙහෙවින් රෝගාතුර වී ඔත්පල විය.
1591 ජුනි 21 වන දින ශුද්ධවූ ඇලෝසියස් ගොන්සාගා මුනිදුන් සගලොව දිනා ගන්නා ලදී. මෙතුමන් සිසු සිසුවියන්ගේ ද කිතුනු තරුණ තරුණියන්ගේ ද නාම සාන්තුවරයා ලෙස හඳුන්වනු ලැබේ
භාග්‍ය වරයට එසවීම 1605 ඔක්තෝබර් 19, පස් වන පාවුළු ශුද්ධෝත්තම හිමිපාණන්.
ශුද්ධවරයට එසවීම 1726 දෙසැම්බර් 31, දොලොස් වන බෙනඩික්ට් ශුද්ධෝත්තම හිමිපාණන්.

#StAloisiusGonsaga | #Saintoftheday
#RVASinhala

'RVASinhala' Facebook, Instagram, Twitter පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!