අද අළු බදාදා දිනයයි.

අද අළු බදාදා දිනයයි.

මේ ප්‍රසාදජනක කාලයයි. වත නොව සිත ඉරාගෙන සමිඳුන් වෙත හැරෙන්නට කාලයයි මේ....
චතාරික දිනය අරඹන පළමු බදාදා දවස අළු බදාදා නමින් හැදින්වේ. පැරැන්නෝ මෙම දින ගණන "කොරෝස්මය" නමින්ද හැදින්වුහ. චතාරිකය සම්මත කිතුනු ලෝකයටම පොදුය. ක්‍රිස්තුන් වහන්සේගේ මරණ ප්‍රාප්තියේ අනේක දුක්කම්කටොළු පිළිබද අධ්‍යන කරන කිතුනු බැතිමත්හු මෙම කාලයේදී තම පාප වැරදි වලට මනස්ථාපනය වෙමින් ඊට වන්දි ගෙවීම සදහා භක්ති අභ්‍යාසයන්හි නියැලෙති. නිරාහාර ශිලය, මත්පැනින් වැලකීම, දැඩි තාපස ක්‍රියා, පාදනමස්කාරය, කල්වාරි වන්දනා ගමන් හා පසිදුරන් මර්දනය ඉන් කිහිපයකි. 
අළු බදාදා දින කිතුනු දේවස්ථාන වල පැවැත්වෙන ජන වන්දනා පිළිවෙත් වලට ගැඹුරු පදනමක් හා අරුතක් ඇත. මෙදින දිව්‍ය පුජාව වේලෙහි පියතුමා සැදැහැවතුන්ගේ නළල් තලයේ කුරුසියේ ලකුණින් අළු තැවරීම සිරිතය. මේ අළු ලබා ගන්නේ ඊට පෙර වසරේ ගොබ් ඉරිදා බෙදා දුන් ගොබ් කොළ කුරුස පුළුස්සා ගැනීමෙනි. තාල වර්ගයේ ගස් නොමැති රටවල මේ සදහා ඔලිව්, කුරුදු හෝ වෙනස් ගස් කොළ අතු යොදා ගැනේ. අළු තවරා ගැනීමෙන් ගම්‍ය වනුයේ පාප වලට පසුතැවිලි වීමකි. තවද පොලවේ පස් වලින් සදා ජීවිතය ලබා ගත් මිනිසා නැවත පසටම හැරී යන බව ක්‍රිස්තියානි ඇදහිල්ලයි. 
කිතු උපතට පෙර පැරණි ගිවිසුමේ ජුදා බැබිලෝනියානු රජවරුන් පවා තම පාප වලට වන්දි ගෙවීම සදහා වත ඉරා ගෙන ඇගෙහි දුවිලි මඩ තවරා, කර්කෂ ගෝනි හැදගෙන කළකිරුණු ස්භාවයෙන් මං මාවත් වල සැරි සැරූ බව සදහන්ව ඇත. දානියෙල්, ආරොන්, දාවිත්, ආබ්‍රහම් පිළිබද එවන් සිද්ධීන් රාජාවලියෙහි දක්නට ලැබේ. ක්‍රිස්තුන් වහන්සේ විසු කාලයේ පවා ජුදයාවේ පව්කාරයින් ඝන රෙදි හැද සියොලග අළු තවරාගෙන ප්‍රසිද්ධ මංසන්දිවල සිටි අයුරු ශු. සුවිශේෂයේ සදහන් වී ඇත. 
අළු බදාදා දවස පශ්චත්තාපයේ දිනයක් හැටියට හදුන්වා දෙන කතෝලික සභාව ජිවිතයේ නිස්සාර බව හා මරණය පිළිබද දැඩි සිහිපත් කිරීමක යෙදේ. අප කොතෙකුත් පාරට්ටු කරන මේ කුණු ශරීරය කිසියම් දිනක පස් ගොඩක් පමණය යන බව මතක් කිරීම එහි ගැබ්වී ඇත. 
අළු බදාදව තුළින් ශුද්ධවූ සභාව අපට සිහිපත් කරනුයේ කවදා හෝ මරණයට පත් වන මිනිස් ශරීරයේ නිස්සාරතාවයයි. එහි මුලික සිද්ධාන්තය නම් පසින් සෑදුනු මිනිසා නැවත පසටම හැරී යන බවයි. අළු බදාදායින් පටන් ගෙන ඇදී යන සති හයක කාලය මිනිස් ජිවිතයේ අවසානය හා හිස් බව පසක් කර ගැනීම සදහා භාවනාත්මකව ගත කිරීමේ වැඩදායි වැදගත් කම කියාදීම චතාරිකයේ මහගු පාඩමයි. 
මේ අතර අන් අයගේ අවධානය තමන් වෙත යොමු කර ගනිමින් තම පාප වලට ප්‍රසිද්ධියේ මනස්ථාපනය වූ ඇතැමුන්ගේ වංචනික ප්‍රෝඩාවන් වටහා ගත ජේසුස් වහන්සේ යට කි දැඩි දුෂ්කර ක්‍රියා ලිහිල් කළේය. නිහතමානිව හා නිහඩව තම පාප වලට සමාව ලබා ගන්නා හැටි එතුමෝ අපට ක්‍රියා දුන් සේක.
"ඔබ උපවාස කරන කල කෛරාටිකයන් මෙන් දොම්නස් මුහුණු ඇති ව නොසිටින්න. තමන් උපවාස කරන බව මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු මුහුණු විරූප කරගනිති. සැබැවින් ම මම ඔබට කියමි; ඔවුන්ගේ පල විපාක දැනට ම ඔවුන්ට ලැබි ඇත. එහෙත්, ඔබ උපවාස කරන කල, හිස තෙල් ගල්වා, මුහුණ සෝදාගන්න. මෙසේ, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට මිස, ඔබ උපවාස කරන බව මිනිසුන්ට නොපෙනෙයි. එවිට රහසින් කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.'' ( මතෙව් 6 : 16 - 18 )
අන්‍යයන්ගේ ප්‍රශංසාවත් හොද හිතත් ලබා ගැනීම සදහා අප කරන පින් දහම් වලින් පලක් නැත. අප අපටම අවංක විය යුතුය. නිහඩව, නිහතමානිව අප කරන පින් කුසල් නිතැතින්ම අපට ඵලදායි වනුවේ එවිටය. ක්‍රිස්තියානි ඇදහිල්ල හා විශ්වාසය එයයි.

#AshWednesday #Lent
#RVASinhala

'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!