සිංහල අවුරුදු සිරිත් 

සිංහල අවුරුදු සිරිත් 

*පරණ අවුරුද්දට ස්නානය
එක් එක් අවුරුද්දට ඖෂධීය ද්‍රව්‍ය වලින් සාදා ගන්නා නානු ආලේප කර න්න ස්නානය කරන්නේ අසනීප ඇස්වහ කටවහ දෝෂ හා ග්‍රහ දෝෂද දුරුකර ගැනීමේ බලාපොරොත්තු ඇතිවයි. 

*නව සඳ බැලීම 
අතීතයේදී ගොවියෝ ගොවිතැන් කටයුතු කරන ලද්දේ සඳ ගමනේ ඇතිවන වෙනස්කම් අනුවයි. ගොවිතැන් බතට මග පෙන්වූ සඳට කෘතවේදීත්වය පළ කිරීමක් වශයෙනුයි. පළමුව පවුලේ පියා මිදුලට බැස නව සඳ බලා ඉන්පසු දරුවන්ද කැඳවා ගනු ලබයි. අනතුරුව පොල් හා පැණි රස කැවිලි කමින් පවුලේ අයද සඳ බලතී.

*පුණ්‍ය කාලයේ ආගමික වතාවත් කිරීම 
පුණ්‍ය කාලය ලෙසින් හඳුන්වනු ලබන්නේ නොනගත කාලයයි. නොනගතය යනු සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යන මොහොතේදී නැකතක් නැති අවස්ථාවයි. මේ නිසා මේ කාලය තුළ එදිනෙදා කරන හැම කටයුත්තකින්ම ජනතාව වැලකී සිටිනවා. මෙම අවස්ථාවේදී බාල මහළු සියලු දෙනා පන්සල් යාම, තෙරුවන් වන්දනා කිරීම ආදී පුණ්‍ය කටයුතුවලින් යෙදෙනු ලබනවා. 

*ලිප ගිනි මෙලවීම 
අතීතයේ ගැමි නිවෙස් වල අලුත් අවුරුද්දට මුළුතැන්ගෙයි මැටි හා ගොම පිරියම් කර ලිප අලුත් වැඩියා කරනු ලබනවා. ගිනි මොළවන්නේ මේ අලුත් ලිපේ ය. එළඹෙන වසර තුළ නිවසේ ආහාර පානයන් අඩුවක් නොවී අරපරෙස්සම් ඇති වේවා යන්න පැතුමෙනුයි මෙම ලිප ගෙනවිල ි ගිනි මැලවීම සිදු කරනු ලබන්නේ. 

*ආහාර පිසීම 
කෑම මේසෙට කිරිබත් සෑදීමේදී මුං ඇට, තල ඇට, ගිතෙල් ආදිය එකතු කරන්නට යැයි නියම කෙරෙන අතර සෑම අවුරුද්දකම සෑම නිවසකම සුභ නැකතට කිරිබත් පිසිනු ලබනවා. අතීතයේදී තෙල් තාච්චිය ලිපේ තැබුවේද නැකතටයි. 

*ආහාර අනුභවය 
නැකතට ලිප ගිනි මොළවා පිසූ කිරිබත් හා අනෙකුත් ආහාර වර්ග සුභ නැකතට අනුභව කරනු ලබනවා. අවුරුදු කෑම මේසේදී මුල් තැන ගන්නේ කිරිබත්, කැවුම්, කොකිස්, මුං කැවුම්, ආස්මී ආදී නොයෙක් කැවිලි වර්ග වලින් අවුරුදු කෑම මේසය සරසනු ලබනවා, පවුලේ ප්‍රධානියා අවුරුදු කෑම මේසය ඉඳුල් කර කිරිබත් අනුභවය අනතුරුව වයස් පිළිවලට දරුවන්ට කෑම කවනු ලබනවා. ඉන්පසු පවුලේ සාමාජිකයන් සියල්ලෝ එකට හිඳ ආහාර අනුභව කරනු ලබනවා. සියලු දෙනාම ආහාර ගෙන අවසන් වනතුරු කවුරුත් මේසෙන් නැගිටින්නේ නැහැ. 

*ගනුදෙනු කිරීම 
ගනුදෙනු කිරීමේ අරමුණ වන්නේ මුළු වසර පුරාම දියුණු ආර්ථික තත්ත්වයක් උදාකර ගැනීමේ අපේක්ෂාවයි. තමාට වඩා ආර්ථික තත්ත්වයෙන් දියුණු යහපත් පුද්ගලයකු වෙත ගොස් බුලත් කොළයක තබා මුදලක් දීමෙන් පසුව එය ලැබූ තැනැත්තා ඊට වැඩි මුදලක් ඒ කොලේම තබා ආපසු දෙනු ලබනවා. ගනුදෙනු කිරීම කියන්නේ මෙයයි. නිවසේ ගෘහණිය මේ අවස්ථාවේදී ළිඳ වෙත ගොස් එයින් ගන්නා පළමු දිය දෝතට තෙවරක් වදිනු ලබනවා. තවද ළිඳට අඟුරු සහ මල් ආදිය දැමීමද පුරාණය පැවති සිරිතක්. වසර මුළුල්ලේම අඩුපාඩුවක් නැතුව ජලය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනු ලබනවා. මෙම සිරිත් එක් එක් පළාතෙන් පළාතට වෙනස්වනු දැකිය හැකියි. 

*වැඩ ඇල්ලීම 
කරදර වලින් තොරව මුළු වසර පුරාම රැකියාව කර ගැනීමට ලැබේවා යන අපේක්ෂාව වෙනුවෙන් වැඩ අල්ලනු ලබන්නේ තම රැකියාව නිවසේදී කළ නොහැක්කේ නම් වෙනත් සුබ කටයුත්තක් කරනු දැකිය හැකියි. ඉගෙන ගන්නා සිසුන්ට ඊට අදාළ වැඩක් කළ හැකියි. 

*බුලත් දී වැඳීම 
ඈත අතීතයේ සිටම අපේ පැරැන්නන් සුබ කටයුතු හැම එකක්ම පාහේ කිරීමේදී බුලත් යොදා ගනු ලැබුවා. පළමුව දෙමව්පියන්ට ගුරුවරුන්ට හා වයස් පිළිවෙලින් වැඩිහිටියන්ට බුලත් දී වැඳීම පුරාණයේ සිට පැවතෙන සිරිතක් අවුරුද්දට බුලත් අතක් දී ආචාර සමාචාර කර ගැනීමෙන් පැරණි අමනාපකම අමතක කර හිතවත්කම් අලුත් කරගන්නට හැකි වුණා. එයින් පිදිය යුත්තන් පිදීමද සිදු වූවා. බුලත් හා තෑගි බෝග ගෙන ගොස් සමාව හා ආශිර්වාදය ද ලබා ගැනීමෙන් වැඩිහිටියන්ට ගරු බුහුමන් දැක්වූවා. 

*නෑගම් යෑම
වසරේ වෙනත් කාලවලදී මුනනොගැසෙන නෑදෑයෝ පවා අවුරුදු කාලයට මුණගැසෙනවා. තෑගි බෝග රැගෙන නෑදෑයින් බලන්නට යාම නිසා නෑදෑකම් සුහදකම් වර්ධනය වෙනවා. 

*හිස තෙල් ගෑම 
හිසට හොඳ දෙයක් වන තෙල් ගෑම සිදු කරන්නේ දීර්ඝායුෂ ලැබීමේ හා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. 

*රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම
කිරිබත්, කැවුම් කා රැකියාවට පිටත්ව යන්නේ සුබ නැකතකින්. මේ අවස්ථාවේදී මව හෝ වැඩිවිය පත් දැරියක පිරිසිදු වතුර කළයක් ගෙන ඉදිරියට යන්නේ යන ගමනට ආශිර්වාද කිරීමටයි. 


සිංහල අවුරුදු සිරිත් වල ඇති වැදගත්කම 
මෙම සිරිත් වලින් සමාජයේ සමගිය හා සුහද බව ශක්තිමත් කරනු ලබන අතර නොනගතය අවස්ථාවේදී පන්සලේදී ගමේ වැඩි දෙනෙක් මුණගැසෙනවා. අවුරුද්දක් උදාවෙන් පසුව නිවෙස් අතර කෑම බීම හුවමාරු වෙනවා. මෙයින් එකිනෙකා මුණ ගැසී සුහද පිළිසඳරේ යෙදීම නිසා හිතවත්කම් අලුත් වෙනවා. යම් අමනාපයක් තරහක් පැවතිය නම් බුලත් අතක් දී ආචාර කිරීමෙන් නොහොඳ වීම අත්හැර දැමූ බව ට පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම පවුලේ සියල්ලෝ අලුත් අවුරුද්දට මුණ ගැසීම එකතුවීම පවුලේ සාමාජිකයින් අතර හිත් අමනාපකම් අමතක කර දමා තෑගිබෝග හුවමාරු කර ගැනීම දෙමව්පියන්ට වැඩිහිටියන්ට බුලත් දී වැඳීමෙන් ආශිර්වාද ලබා ගැනීම ආදිය නිසාත් ගමම අවුරුදු ක්‍රීඩාවල යෙදීම නිසාත් සැමගේ සමගිය හා ශක්තිය වර්ධනය වීම අලුත් අවුරුදු චාරිත්‍රවලින් සිදුවන යහපත් දේ අතර ප්‍රධානයි.