ශුද්ධ වූ ෆෘමෙන්තියුස් මුනිඳුන්

අද දින සුදුවර චරිතයෙන් ඔක්තොම්බර් 27වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ ෆෘමෙන්තියුස් මුනිඳුන් ගැන කතා කරමු.

ෆෘමෙන්තියුස් උපත ලබන්නේ ක්‍රිස්තු වර්ෂ හතර වන ශත වර්ෂයේ එවකට නැගෙනහිර අධිරාජ්‍යයට අයත් වූ වර්තමානයේ ලෙබනන් දේශයේ තීර් නම් නගරයේ ය. ෆෘමෙන්තියුස් සහ ඔහුගේ සහෝදරයා වූ එදේසියස් තම මාමා වූ මෙරෝපියුස් සමග ඉතියෝපියාවට යන ගමනක් අතරතුර ඔවුන්ගේ නෞකාව රතු මුහුදේ එක් වරායක නතර වූ විට, ප්‍රදේශවාසීන් මුළු කාර්ය මණ්ඩලයම සමූල ඝාතනය කළ අතර පිරිමි ළමුන් දෙදෙනා ඇක්සුම් රජුගේ වහලුන් ලෙස ගෙන ගියහ.

පිරිමි ළමයින් දෙදෙනා වැඩි කල් නොගොස් රජුගේ ප්‍රසාදය දිනා ගත්හ. ඔහුගේ මරණයට ටික කලකට පෙර රජ ඔවුන්ව නිදහස් කළේය. කෙසේවෙතත්, වැන්දඹු බිසව ඔවුන් දෙදෙනාට තවදුරටත් රැඳී සිටිමින් රජ කිරුළ හිමි තරුණ ඒසානාගේ අධ්‍යාපනය සඳහා සහාය වන මෙන් සහ කුමරුගේ තරුණ සමයේ රාජධානියේ පරිපාලනය සඳහා ඇයට සහාය වීමට ඔවුන්ට බල කළාය.

එම ඉල්ලීම පිළිගත් ඔවුන් එහි රැඳී සිටි අතර ක්‍රිස්තියානි ධර්මය ව්‍යාප්ත කිරීම එය අවස්ථාවක් කර ගත්තේය. පළමුවෙන්ම ඔවුන් රට තුළ සිටින ක්‍රිස්තියානි වෙළෙන්දන්ට තම ඇදහිල්ල විවෘතව පිළිපැදීමට උනන්දු කළ අතර, රෝම පිළිවෙත් වලට අනුව යාච්ඤා කිරීම සඳහා එකට එක්විය හැකි ස්ථාන සොයා ගැනීමට ඔවුහු උදව් කළහ.

කුමාරයා නිසි වයසට පැමිණි පසු එදේසියස් නැවත තීර් වෙත පැමිණ එහි නැවතී පූජකයෙකු ලෙස පත්විය. ඉතියෝපියාවේ සේවය කිරීමට උනන්දුවෙන් සිටි ෆෘමෙන්තියුස් තම සහෝදරයා සමඟ ඇලෙක්සැන්ඩ්‍රියාව දක්වාම ගිය අතර, එහිදී ඇලෙක්සැන්ඩ්‍රියාවේ අගරදගුරු වූ අතනාසියුස් තුමන්ගෙන් ඉල්ලා සිටියේ රදගුරුතුමකු සහ පූජකවරුන් පිරිසක් ධර්මදූතවරුන් ලෙස ඉතියෝපියාවට එවන ලෙසය. අතනාසියුස් අගරදගුරුතුමන්ගේ අවබෝධය තුළ ෆෘමෙන්තියුස් මෙම දූත මෙහෙවර සඳහා වඩාත් සුදුසු පුද්ගලයා යැයි විශ්වාස කළ අතර ඔහුව රදගුරුතුමකු ලෙස පත් කළේය.

ෆෘමෙන්තියුස් රදගුරුතුමන් නැවත ඉතියෝපියාවට පැමිණ තම දූත මෙහෙවර ආරම්භ කරමින් ඇක්සුම් හි අගරදගුරු පදවිය පිහිටුවා, පසුව ඒසානා රජුගේ සිත හරවා බව්තීස්ම කළේය. ඔහු දේවස්ථාන ඉතියෝපියාව පුරා ගොඩනඟා ක්‍රිස්තියානි ධර්මය ව්‍යාප්ත කළේය. එතුමන් විසින් ඉතියෝපියාවේ පළමු තාපසාරාමය ආරම්භ කර ඩබ්බා සෙලාමා ලෙස නම් කළේය. ජනයා ඔහුව 'ආලෝකය හෙළිදරව් කරන්නා' සහ 'සාමයේ පියා' ලෙස හැඳින්වූහ. එතුමන්ගේ මරණය සිදු වූවා යැයි සලකනු ලබන්නේ ක්‍රිස්තු වර්ෂ 383 දී ය.

ඉතියෝපියාවේ පියා ලෙස හඳුන්වනු ලැබු, ශුද්ධ වූ ෆෘමෙන්තියුස් මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.

#StFrumentius #Prayforus
#Saintoftheday #RVASinhala

'RVASinhala' Facebook, Instagram, X Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!