ලීමා හී ශුද්ධ වූ රෝස් මුනිවරිය

අද දින සුදුවර චරිතයෙන් අගෝස්තු 23වන දිනට මංගල්‍යය යෙදෙන ලීමා හී ශුද්ධ වූ රෝස් මුනිවරිය ගැන කතා කරමු.

ඇය 1586 අප්‍රියෙල් 30 වන දින පේරු රටේ ලීමා නගරයේ ඉසබෙල් ෆ්ලෝරස් ඩි ඔලීවා ලෙස උපත ලැබීය. ස්පාඤ්ඤය රාජකීය හමුදාවේ සේවය කළ ගැස්පර් ෆ්ලෝරස් සහ මරියා ද ඔලිවා වයි හෙරේරා ඇයගේ දෙමව්පියන් වූහ. ඇගේ "රෝස්" යන නාමය ලැබෙන්නේ ඇගේ ළදරු අවධියේ සේවිකාවක් ඇගේ මුහුණ රෝස මලක් බවට පත් වී ඇති බව කී නිසාය.

තරුණියක ලෙස, සියනාවේ ශුද්ධ වූ කැතරින් මුනිවරිය අනුකරණය කරමින් ඇය රහසිගතව සතියකට තුන් වතාවක් නිරාහාරව සිටීමට පටන් ගත්තාය. ඇයගේ සුන්දරත්වය ගැන අන් අය අගය කළ නිසා රෝස් ඇගේ කොණ්ඩය කපා ඇගේ මුහුණ පුළුස්සා දැමුවේ පිරිමින් ඇය ගැන දක්වන අවධානයෙන් මිදීමටය.

ඇගේ දෙමව්පියන්ගේ වාරණය නොතකා, ඇය දිනපතා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ පිළිබඳව ද මෙනෙහි කරමින් පැය ගණනාවක් ගත කළාය. වෘතශුද්ධිය පිළිබඳ පොරොන්දුවක් ගැනීමට ඇය අධිෂ්ඨාන කර ගත් අතර, ඇගේ දෙමව්පියන් විසින් එයට විරුද්ධ විය. අන්තිමේදී, ඇගේ පියා ඇයට තම නිවසේ කාමරයක් ලබා දුන්නේය.

දිනපතා නිරාහාරව සිටීමෙන් පසු ඇය ස්ථිරවම මාංශ අනුභව කිරීමෙන් ද වැළකී සිටියාය. ඇය අවට සිටින රෝගීන්ට සහ කුසගින්නෙන් පෙළෙන අයට උදව් කර, ඔවුන් ඇගේ කාමරයට ගෙනැවිත් රැකබලා ගත්තාය. රෝස් තමන් විසින්ම කළ මැහුම් ගෙතුම් සහ මල් විකුණා ඇගේ පවුලට උපකාර කිරීමට ද යුහුසුළු විය. ඇය විසින්ම සාදන ලද කුඩා ගුහාවක් තුළ යාඥාවෙන් සහ පශ්චත්තාපයෙන් කල් ගත කළා ය. ඇය නිවසෙන් බැහැරව ගියේ දේවස්ථානයට පමණකි.

දොමිනිකානු නිකායේ පැවිදි ජීවිතය පිළිබඳ අවධානය දිනා ගත් ඇයට කන්‍යා සොහොයුරියක් වීමට අවශ්‍ය වූ නමුත් ඇගේ පියා එය තහනම් කළ නිසා ඇය ඒ වෙනුවට දොමිනිකානු තුන්වන පංතියට ඇතුළු වූයේ ඇගේ නිවසේම රැඳී සිටිමින් එම පැවිදි ජීවිතය ගතකිරීමට හැකියාව තිබුණු නිසාය.

විසිවන වියේදී ඇය සදාකාලික වෘතශුද්ධියේ පොරොන්දුව ගත්තාය. ඇය රාත්‍රියේ පැය දෙකක් පමණක් නිදා ගත් අතර වැඩි කාලයක් යාඥාවෙන් කල්ගත කළාය. වසර 11කට ආසන්න කාලයක් ඇය මේ ආකාරයෙන් ජීවත් වී 1617 අගෝස්තු 24 දින සගලොව දිනාගත්තා.

භාග්‍යවරයට එසවීම අති උතුම් නව වන ක්ලෙමන්ට් ශුද්ධෝත්තම හිමිපාණන් විසින්. ශුද්ධවන්ත භාවයට එසවීම 1671 අප්‍රේල් 12 දින අති උතුම් දස වන ක්ලෙමන්ට් ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.

ගෙවතු වගාකරුවන්ගේ සහ මල් සැරසිලිකරුවන්ගේ නාම සාන්තුවරිය වන, ලීමා හී ශුද්ධ වූ රෝස් මුනිවරියනි අප නිසා යාච්ඤා කළ මැනව.

#StRoseofLima #PrayForUs
#Saintoftheday #RVASinhala 

'RVASinhala' Facebook, Instagram, X Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!