ජාත්‍යන්තර ග්‍රාමීය කාන්තා දිනය - ඔක්තෝබර් 15
ජාත්‍යන්තර ග්‍රාමීය කාන්තා දිනය - ඔක්තෝබර් 15
බොහෝ රටවල් ජාත්‍යන්තර කාන්තා දිනය වැඩි හඬක් දී සැමරූ මුත් ග්‍රාමීය කාන්තාව පිළිබඳ එබඳු උත්සව හෝ වෙනත් සැමරුම් සිදු වන්නේ තරමක් අඩුවෙනි. නමුත් රටක ආර්ථික ව්‍යවසායට කාන්තාවන්ගෙන් ඉටු වන දායකත්වයෙන් වැඩි ප්රතිශතයක මෙහෙවරක් ඉටු වන්නේ ග්‍රාමීය කාන්තාව වෙතිනි. ලෝකයේ සෑම රටකම වාගේ නිෂ්පාදන කෘෂිකර්මාන්ත වෙනත් කර්මාන්ත ක්ෂේත්රයන්හි ඇයගෙන් ඉටු වන කාර්යභාරය සුවිශේෂීය.
රටට බත සපයන ගොවියා මෙන්ම ගෙවිලිය ද ඒ මෙහෙවරේ කොටස්කාරියක් වන්නීය. 'සියල්ලන්ටම ගුණදායි ආහාර වගා කරන කාන්තාවන් බලගන්වමු' යන්න තේමා කර ගත් මෙවර ජාත්‍යන්තර ග්‍රාමීය කාන්තා දිනය ඔක්තෝබර් 15 වැනි දා සැමරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන ඇත. වර්ෂ 1995 චීනයේ බීජිංහි පැවති සිව්වන ලෝක කාන්තා සමුළුවේදී ග්‍රාමීය කාන්තාවන් වෙනුවෙන් මෙම දිනය පිහිටු වූ අතර පසුව 2007 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය එය නිල වශයෙන් පිළිගෙන සෑම වසරකම ඔක්තෝබර් 15දා එය සැමරිය යුතු බවට සියලු ජාතීන් දිරිමත් කළේය.
බොහෝ රටවල දේශගුණික විපර්යාසවලින් වසංගතවලින් සහ වෙනත් අර්බුදවලින් සිදු වන කම්පන හා පීඩනවලට ඔරොත්තු දීමට ග්‍රාමීය කාන්තාවන්ට සිදුව තිබේ. විශේෂයෙන් 2019 ඇති වූ කොවිඩ් වසංගතයේ බලපෑම ලෝකයටම ඉතා දරුණු ලෙස බලපැවැත්වෙද්දී ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථික නිෂ්පාදන හා ජීවන තත්ත්වයට ද එල්ල වූයේ දරුණු පහරකි. මේ වැඩි දෙනෙකු සුව පහසු ජීවිත ගෙවන අය නොවේ. දරිද්‍රතාව හා වෙනත් අපහසුතා බහුලව අත්විඳින පිරිස වේ. මෙවැනි වසංගත නිසා ලොව සෑම තැනකම සිටින එවැනි ප්‍රජාවන්ට රැකවරණය සැපයීම, ආහාර සපයාදීම, දෛනික ආදායමක් හිමිකර දීමට හා සිතට සැනසුමක් දීම වෙනුවෙන් යම් වගකීමක් ඉටු කිරීමට සෑම රජයකටම සිදු වී තිබේ. ග්‍රාමීය කාන්තාව පමණක් නොව ඇය වටා ඇති පවුල්වල සාමාජිකයන්ට ද මේ පීඩනය දරුණුවට දැනෙන නිසා ඔවුනට ද යම් අස්වැසිල්ලක් සැපයීමට ප්‍රායෝගිකව ක්‍රියා කිරීමට මේ කාලයයි.
බිම් මට්ටමෙන් කාන්තා බලය ශක්තිමත් කිරීම තුළින් ඔවුනට ආර්ථික සහයෝගිතාවයක් දිය හැකිය. කාන්තාවන් සංවිධාන ගත කිරීමෙන් ග්‍රාමීය රාජ්‍ය යන්ත්‍රණය තුළ ඔවුන් අධීක්ෂණය කිරීම හා ග්‍රාමීය ආර්ථික කාර්යයට ඔවුන් ඍජුව දායක කර ගැනීමත් හරහා කාන්තා අභිවෘද්ධිය ඇති කළ හැකිය. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ රටවල්වල සංවර්ධන ක්රියාකාරිත්වයනට ග්‍රාමීය කාන්තාවන් සහභාගි කර ගැනීමටත් එය තිරසර සංවර්ධන ප්රවේශයකට ගෙන යාම තුළිනුත් මේ කාන්තා ව්‍යවසාය ඉහළ ආර්ථික ප්‍රතිලාභයකට ළඟා කර ගත හැකි බවයි. ඔවුන් සතු පාරම්පරික දැනුම ආරක්ෂා කර ගැනීමටත් ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමත් සඳහා බල ගැන්වීම ඉතාම අවශ්‍යය. ග්රාමීයව සිදු වන කෘෂි නිෂ්පාදන ඇතුළු ග්‍රාමීය නිපදවීම් නිසි ලෙස වෙළඳපොළට යොමු කිරීම ඔවුන්ට යහපත් ආර්ථික ප්රතිලාභ ළඟා කර දීම සහ එය නිරතුරු අඛණ්ඩව සිදු වන ක්‍රියාවලියක් බවට පත් කිරීම තුළින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතතාවය තහවුරු කළ හැකිය.
බොහෝ රටවල ග්‍රාමීය කාන්තාව මුහුණ දෙන ප්‍රධානම ගැටලුව මන්දපෝෂණයයි. ඔවුන් ගන්නා ආහාරවල සමබලතාවය බිඳී තිබීමත් වර්තමානය වන විට අනාරක්ෂිත ආහාර පුරුදුවලට යොමු වී තිබීමත් ඔවුන්ගේ සෞඛ්‍ය හා ජීවිතවලට එල්ල වී තිබෙන ප්‍රබල හානි තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. එසේම කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයත් ලිංගික හිංසන හා අඩු වයස් තරුණියන්ට සිදු වන අපචාර ආදියේ සාපේක්ෂ වර්ධනයත් මේ අයගේ ජීවිත හමුවේ ඇති ප්‍රබල ගැටලු බවට හඳුනාගෙන තිබේ. එනිසා ඔවුන්ව ආරක්ෂා කර ගැනීමටත් ජීවිත සුරක්ෂිතභාවය තහවුරු කිරීමටත් පාලක පක්ෂයේ වගකීම් වේ.
කෘෂි ආර්ථික සංවර්ධනය සඳහා නිරතුරුව ග්‍රාමීය කාන්තාවන් බලගැන්වීමත් සෞඛ්‍යආරක්ෂිත පිරිසිදු ගුණදායි ආහාර නිෂ්පාදනය හා පරිභෝජනය සදහා ඔවුනට නිරතුරුව අවබෝධය සපයාදීම වැදගත් බවත් පෙනීයයි. මෙවැනි කොවිඩ් වාතාවරණයක් තුළ එය ඉතාම ඵලදායි ක්‍රියා මාර්ගයක් වේ.
ග්‍රාමීය ආර්ථික සංවර්ධන, සමුපකාර ක්ෂේත්‍ර, ප්‍රජා සංවිධාන, ආගමික හා ගොවි සංවිධාන සඳහා මෙහිදී විශාල වගකීමක් පැවරේ. රටේ ප්‍රධාන නිෂ්පාදන ආර්ථිකයට ග්‍රාමීය ජනතාවගේ නිෂ්පාදන නිරතුරුව එකතුවීමට ඉඩ සැලසීමත්, අතරමැදි වෙළෙඳ ප්‍රජාවගේ උගුල්වලට හසු නොවී ඔවුන්ගේ දහඩිය මහන්සියට වටිනාකමක් හිමි කරදීම තුළින් රටකට ප්රතිලාභ ලැබිය හැකිය. විශේෂයෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ ග්‍රාමීය කාන්තාවන්ගේ අභිවෘද්ධිය සැලසීමට අවශ්‍යමය. සැලසුම් සාකච්ඡා සම්මන්ත්රණ ආදියට වඩා ඔවුන්ට හුස්ම ලබා දෙන ප්‍රායෝගික වැඩසටහන් ජනතාවාදීව ක්‍රියාත්මක විය යුතුය. අප අද මුහුණ දෙන ආර්ථික අභියෝග හමුවේ ග්‍රාමීය කාන්තාවන්ගේ ආරක්ෂාව හා ජීවන සෞභාග්‍යය සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ක්‍රියාවට නංවමු.
නිශාන්ත පීරිස්
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව
#InternationalDayofRuralWomen #UNDays
#RVASinhala