සුවිශේෂක ශුද්ධ වූ ලූක් මුනිඳුන්

අද දින සුදුවර චරිතයෙන් ඔක්තොම්බර් 18වන දිනට මංගල්‍යය යෙදෙන සුවිශේෂක ශුද්ධ වූ ලූක් මුනිඳුන් ගැන කතා කරමු.

ග්‍රීක සහ අන්‍යජාතිකයෙකු වූ ලූක් තුමා උපත ලබන්නේ සිරියාවේ අන්තියෝකියේ ය. ඔහු වෛද්‍යවරයකු වූ අතර මැසදෝනියාවේ සිට පිලිප්පී දක්වා ශුද්ධ වූ පාවුළු තුමා ගිය ගමනේදී ත්‍රෝවාස් හී දි ඔහු ද එතුමන් සමඟ එක් විය. බටහිර රෝම අධිරාජ්‍ය ධර්මදූත සේවයේ යෙදුණු පාවුලු තුමා හට වරෙක ගල් ගසා පහර දුන් අවස්ථාවේදී සහ දියේ ගිල්වා මියැදෙන්නට සලස්වා තිබියදී ලූක් තුමා එතුමන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති බව කියවේ.
තමන් විසින් ලියන ලද සුභාරංචිය හඳුන්වාදීමේ දී පාවුලු තුමා සහ එතුමන්ගේ සගයින් සමග පැවති සමීප ඇසුර තම ලියවිලි වලට මහත් රුකුලක් වූ බව සඳහන් වේ. ශුද්ධවූ බයිබලයේ සඳහන් පොත් අතරෙන් අන්‍ය ජාතිකයකු විසින් ලියන ලද පොත් වනුයේ ලූක් තුමන් විසින් ලියන ලද නව ගිවිසුමේ තුන්වන සුවිශේෂය සහ අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා පොත පමණි. එම පොත්වල සඳහන් සියලු දේ ඓතිහාසික ලෙස නිවැරදි බවද ඔප්පු වී ඇත.
ලූක් තුමා විසින් ලියන ලද සුවිශේෂයේ මූලිකව අවධාරණය කරනු ලබන්නේ පව්කාරයින් හා දුක් විදින අය කෙරෙහි ක්‍රිස්තුස් වහන්සේගේ අනුකම්පාවයි. ලූක් සුභාරංචිය දුප්පතුන් හා පීඩිතයින් පිළිබඳව අවධාරණය කරයි. ලාසරස් සහ ධනවතා පිළිබඳ උපමාව සහ යහපත් සමරිතානුවරයාගේ උපමා මීට නිදසුන්ය. එලෙසම අන්‍ය ජාතිකයින් හට ශුභාරංචිය දේශනා කිරීමේ වැදගත්කම ද එතුමන් තම සුවිශේෂය තුළ අවධාරණය කරනු ලබයි. සරේපාත් හී වැන්දඹුවගේ ද, සිරියානු ජාතික නාමන්ගේ, සුවය ලබා නැවත පැමිණි සමරිතානු ජාතික ලාදුරු රෝගියාගේ ද ඇදහිල්ල ජේසුස් වහන්සේ ප්‍රශංසා කළ ආකාරය ඊට නිදසුනකි.
යුදෙව් සම්ප්‍රදායෙන් මිදී කාන්තාවන් හට තම සුභාරංචියේ වැදගත් ස්ථානයක් එතුමන් ලබා දී ඇත. මග්දලායේ මරියා, ජොඅන්නා, මාර්තා සහ මරියා යන කාන්තාවන් ජේසුස් වහන්සේට සහ ගෝලයින්ට ඇප උපස්ථාන කළ ආකාරය සඳහන් වීමෙන් එය පැහැදිලි වේ.
දේව මාතාවන්ට මංගලම් කීම, එලිසබෙත් තුමිය බැහැදැකීම සහ මරිය උදාන ගීය සඳහන් වනුයේ ලූක් සුභාරංචිය තුළ පමණි. මෙම කරුණු සහ ජේසුස් වහන්සේගේ උත්පත්තිය පිළිබඳ කරුණු ද දේවමාතාවන්ගෙන්ම ලූක් තුමන් වෙත ලැබුණු බව ද පිළිගත හැකිය.

කලාකරුවන්ගේ, වෛද්‍යවරුන්ගේ, උපාධිධාරීන්ගේ, ශල්‍ය වෛද්‍යවරුන්ගේ සහ සිසුන්ගේ නාමසාන්තුවරයා වන, සුවිශේෂක ශුද්ධ වූ ලූක් මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.

#StLuketheEvangelist #Prayforus
#Saintoftheday #RVASinhal

'RVASinhala' Facebook, Instagram, Twitter පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!