ශුද්ධ වූ විසිතුන් වන ජුවාම් පාප්තුමා

අද දින සුදුවර චරිතයෙන් ඔක්තොම්බර් 11වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ විසිතුන් වන ජුවාම් පාප්තුමා ගැන කතා කරමු.

අන්ජලෝ ගුසෙප්පේ රොන්කාලි උපත ලබන්නේ 1881 නොවැම්බර් 25 වන දින උතුරු  ඉතාලියේ බර්ගාමෝ හී සොත්තො ඉල් මොන්තේ නම් කුඩා නගරයේ ජියොවන්නි බතිස්තා රොන්කාලි සහ මරියන්නා ගූලියා මසොල්ලා යනු යුවලට දාව උපන් දරුවන් දහතුන් දෙනාගෙන් හතර වැනියා සහ වැඩිමහල් පුතුනුවන් ලෙසය.1889 වසරේ දී රොන්කාලි ප්‍රථම වතාවට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගත් අතර වයස අටේ දී අභිවෘද්ධි ආලේපය සක්‍රමේන්තුව ලබා ගත්තේය.
1896 මාර්තු 01 වෙනි දින ලුවිජි ඉසක්කි පියතුමා ඔහුව ෆ්‍රැන්සිස්කානු  නිකායට බඳවා ගත් අතර 1897 මැයි 23 වන දින ඔහු තම පැවිදි පොරොන්දු ලබා දුන්නේය.1904 වසරේ දී රොන්කාලි සභා නීතිය පිළිබඳ ගෞරව උපාධිය සම්පූර්ණ කර රෝමයේ පෝපොලෝ චතුරස්‍රයේ  මොන්තේ සාන්තෝ  හී සාන්ත මරියා දෙව් මැදුරේ දී  ඔක්තෝම්බර් 10 වන දින පූජකවරය ලබා ගන්නා ලදී.
1905 වසරේදී බර්ගාමෝවට පත්වූ නවක රදගුරුතුමන් වන ගියාකොමෝ රාදිනි තෙදෙස්කි තම ලේකම් ධුරයට රොන්කාලි පියතුමන් ව පත් කර ගත්තේය.1914 අගෝස්තු 22 වන දින රදගුරුතුමන් මරණයට පත්වන තුරුම  ඔහු එතුමන් සමග සේවය කළේය.තෙදෙස්කි රදගුරුතුමන් ගේ මරණය ඔහුගේ ජීවිතයට මහත් වූ බලපෑමක් එක් කළ අතර රදගුරුතුමන් මිය යන මොහොතේ රොන්කාලි පියතුමාට පැවසූ අවසාන වචන වූයේ, "අන්ජලෝ, සාමය උදෙසායි යදින්න." යනුයි.
පළමු ලෝක යුද්ධ සමයේදී රොන්කාලි  පියතුමන්ව ඉතාලි රාජකීය හමුදාවේ සාජන් වරයෙකු ලෙස කැඳවූ අතර ප්‍රථමාධාර අංශයේ සේවාව සහ හමුදාවේ අධ්‍යාත්මික පියතුමා ලෙස කටයුතු කිරීමට එතුමන්ට සිදුවිය. 1919 වසරේ මුල් භාගයේ හමුදාවෙන් ඉවත් වූ එතුමන්ට දෙව්සත්හලේ අධ්‍යාත්මික පියතුමා ලෙස පත්වීමක් ලැබීය. 1921 නොවැම්බර් 6 වන දින රොන්කාලි පියතුමා රෝමයට ගොස් පහලොස් වන බෙනදික් පාප්තුමන් මුණගැසෙන අතර එහිදී එතුමන්ව විශ්වාසය ප්‍රවර්ධන කිරීමේ සංගමයේ ඉතාලි සභාපතිවරයා ලෙස පත් කරන ලදී. 
1934 නොවැම්බර් 30 වන දින එතුමන් තුර්කිය ග්‍රීසිය සහ බල්ගේරියාව යන රටවල් වල වතිකානු තානාතිපති ලෙස පත් වී තම නිල ධුර කාලය තුළ ඉමහත් සේවාවක් එතුමන් විසින් සිදු කළ අතර දෙවන ලෝක යුද්ධය කාලයේ එතුමන් බල්ගේරියාවේ රැඳී සිටිමින් යුදෙව්වන් සමඟ ද ඉතා මිත්‍රශීලී සම්බන්ධකමක් පවත්වාගෙන ගියේ ය.
1953 ජනවාරි 12 වන දින දොළොස්වන පියුස් පාප්තුමන් විසින් එතුමන්ව කාදිනල් වරයට ඔසවන ලදී. දොළොස්වන පියුස් ශුද්ධෝත්තම පියතුමාණන්ගේ ස්වර්ගස්ථ වීම 1958 ඔක්තෝබර් 9 වන දින සිදුවූ අතර කාදිනල් හිමිපාණන් 1958 නොවැම්බර් 4 වන දින 23 වැනි ජුවාම් නමින් පාප් ධුරයෙන් අභිසෙස් ලබන ලදී.
ශුද්ධ වූ සභාවේ උන්නතිය වෙනුවෙන් බොහෝ සේවාවන් ඉටු කළ එතුමන් දෙවන වතිකානු මන්ත්‍රණ සභාව කැඳවීමට ද දේව වන්දනාවේ බොහෝ වෙනස්කම් සිදුකිරීමට ද මුල් වී කටයුතු කළේය. සමාජීය අභිවෘද්ධිය වෙනුවෙන් විශේෂයෙන් මානව හිමිකම් පිළිබඳව එතුමන් මහත් වූ හඬක් නැඟීය. 1963 ජුනි 03 වන දින රෝගී තත්ත්වයක් හේතුකොටගෙන එතුමන් සගලොව දිනාගත්තේ ය.
භාග්‍යවරයට එසවීමේ 2000 සැප්තැම්බර් 03 වන දින අති උතුම් දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
ශුද්ධවන්ත භාවයට එසවීම 2014 අප්‍රේල් 27 වන දින අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.


#StJohnXXIII #Prayforus #Saintoftheday #RVASinhala

'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,
YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!