ශුද්ධ වූ රොසාලියා මුනිවරිය

අද දින සුදුවර චරිතයෙන් සැප්තැම්බර් 04වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ රොසාලියා මුනිවරිය ගැන කතා කරමු.

රොසාලියා උපත ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 1130 දී ඉතාලියේ පලෙර්මෝ ප්‍රදේශයේ වංශවත් පවුලකය. ඉතා දැහැමි ව හැදී වැඩුණු ඇය පෙලෙග්‍රිනෝ කන්දේ ගුහාවක හුදෙකලාව තාපස ජීවිතයක් ගත කළ අතර 1166 වසරේදී එම ගුහාවේදීම තම අවසන් හුස්ම හෙලුවාය. ජනප්‍රවාදයට අනුව ඇයව ගුහාවට ගෙන යන ලද්දේ දේවදූතයන් දෙදෙනෙකු විසිනි. ගුහාවේ බිත්තියක ඇය මෙසේ ලියා ඇත: "රෝසස් හී අධිපතියා වන සිනිබාල්ඩ් සහ කුයිස්කුයිනාගේ දියණිය වන රොසාලියා නම් මා, මගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය උදෙසා මෙම ගුහාවේ ජීවත් වීමට තිරණය කළෙමි."

1624 දී පලෙර්මෝ හී වසංගතයක් පැතිර ගිය දුෂ්කර මොහොතක ශුද්ධ වූ රොසාලියා මුනිවරිය පළමුව රෝගාතුර වූ කාන්තාවකට ද, පසුව දඩයක්කාරයෙකුට පෙනී සිටිමින් තම ශරීරයේ අවශේෂ ඇති ස්ථානය දන්වා එම ඇටකටු පලෙර්මෝ වෙත ගෙනැවිත් නගරය හරහා පෙරහැරේ ගෙන යන ලෙස ඇය ඔහුට අණ කළාය.දඩයක්කාරයා කන්දට නැඟී ඇගේ ඇටකටු ගුහාවේ තිබී සොයා ගත් අතර ඇය පැවසු ලෙස දේහය තුන් වතාවක් නගරය වටා ගෙන ගිය පසු වසංගතය නතර විය. මෙයින් පසු ශුද්ධ වූ රොසාලියා මුනිවරිය පලෙර්මෝහී නාම සාන්තුවරිය ලෙස ගෞරවයට පාත්‍ර වූ අතර ඇගේ දේහය සොයා ගන්නා ලද ගුහාව තුළ අල්තාරයක් ද ඉදිකරන ලදි.

#StRosalia #Prayforus 
#Saintoftheday #RVASinhala

'RVASinhala' Facebook, Instagram, X Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!