ශුද්ධ වූ ජොන් බොස්කෝ මුනිඳුන්

අද දින සුදුවර චරිතයෙන් ජනවාරි 31වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ ජොන් බොස්කෝ මුනිඳුන් ගැන කතා කරමු.

ජෝන් බොස්කෝ උපත ලැබුවේ 1815 අගෝස්තු 16 වන දින කස්තෙල්නුවවෝ දීආස්ති ට (අද උතුරු ඉතාලියේ කස්තෙල්නුවවෝ දොන් බොස්කෝ නමින් හදුන්වන) ආසන්න බේක්කි නම් ගම්මානයේ ය. ඔහුගේ දෙමව්පියන් දුප්පත් ගොවීන් වූ අතර ඔහුගේ පියා මිය යන විට ඔහුගේ වයස අවුරුදු දෙකකි. ඔහුගේ මව වන මර්ගරීතා ඔහුව හදා වඩා ගත්තේ මහත් දුෂ්කරතාවයකින් වුවද මහත් වූ ආදරයක් ඔහු කෙරෙහි විය. ඇය ඔහුට වැඩ කළ යුතු ආකාරය සහ වඩාත්ම වැදගත් දෙය නම් ජීවිතයේ වාසනාව හා අවාසනාව තුළ දෙවියන් වහන්සේව හඳුනා ගැනීම බව කුඩා කළ පටන් කියා දුන්නාය.

වයස අවුරුදු නවයේ දී ඔහුගේ ජීවිතය සදහටම වෙනස් කරන ඉතා අමුතු සිහිනයක් දකින්නට ලැබූණි. ඔහු සහ ඔහුගේ මව යන දෙදෙනාම එම සිහිනයේ සැබෑ අරුත වටහා ගත් මර්ගරිතා තම පුතුගේ පූජකතුමකු වීමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා බොහෝ කැපකිරීම් කළාය.

1841 දී තරුණ පූජකයෙකු ලෙස ඔහු ටියුරින් හි සේවය ට පැමිණියේය. ඔහුගේ අධ්‍යාත්මික මඟ පෙන්වන්නා වූ ජෝසෆ් කෆස්සෝ ඔහුට පහත සඳහන් උපදෙස් දුන්නේය: “නගරය පුරා ගොස් ජනතාව එදිනෙදා ජීවිතය ගත කරන ආකාරය නිරීක්ෂණය කරන්න”. මිනිස් දුක්ඛිතභාවය එහි සියලු ආකාරවලින් ඔහු දුටුවේ එවිටය. කම්කරුවන්ගේ ජීවන තත්ත්වය අසරණ එකක් වූ අතර තරුණයින් රැකියා විරහිතභාවයෙන් පෙලුණේය.

නොමග ගිය බාල වයස්කරුවන් මුණගැසී ඔවුන්ගේ ජීවිත අධ්‍යනය කළ ඔහුට ඔවුන් කෙරෙහි විශාල හැඟීමක් ඇති වු අතර දරුවන් සහ තරුණයන් මුහුණ දී තිබෙන මෙම ඛේදවාචකයෙන් ඔවුන් මුදවා ගැනීම සඳහා තමන්ට හැකි සෑම දෙයක්ම කිරීමට දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගත්තේය.

වර්ෂ 1841 දෙසැම්බර් 08 වන කන්‍ය මරියාවන්ගේ නිර්මල පිළිසිඳ ගැනීමේ මංගල දින ජොන් බොස්කෝ පියතුමා හට රැකියාවක් සොයා ගෙන ටියුරින් නගරයට පැමිණි බර්තොලොමෙව් ගරෙල්ලි නම් තරුණයා මුණගැසුණි. දින තුනකට පසුව පසුව ඔහු තවත් මිතුරන් නවදෙනකු කැඳවාගෙන ආ අතර මාස තුනකට පසු එම සංඛ්‍යාව විසි පස් දෙනෙක් විය. වර්ෂ 1842 ගිම්හාන කාලය වන විට පිරිමි ළමුන් අසූවක් දක්වා වර්ධනය විය.

පිරිමි ළමුන් නගරය තුළ මුහුණ දුන් ලොකුම ගැටලුව වුයේ රාත්‍රියේ නිදා ගැනීමට සුදුසු ස්ථානයක් සොයා ගැනීම වූ බැවින් එය ජෝන් බොස්කෝ පියතුමාගේ දැඩි අවධානයට යොමු විය. එතුමන්ගේ මවද තම නිවස අතහැර දමා ටියුරින් වෙත පැමිණ දරුවන් හට ආහාර පිසීමට සහ පිරිසිදු කිරීමේ කටයුතු වලට සහය විය.

දොන් බොස්කෝ පියතුමා දරුවන් ට දයාබර පියෙකු මෙන්ම ගුරුවරයකු ලෙස කටයුතු කළ අතර පිරිමි ළමයින් අතර, ඔහු බොහෝ දෙනෙකු ඔහු අනුව යාමට කැමති වූහ.
සැලේසියානු නිකාය වර්ෂ 1854 ජනවාරි 20 වන දින නිල වශයෙන් පිළිගැනීමට ලක්විය.

දොන් බොස්කෝගේ පළමු “ස්වේච්ඡා සේවකයෙකු” ලෙස මයිකල් රූවා 1860 ජූලි 30 වන දින පූජකවරයකු ලෙස පත් කරන ලදී.

දොන් බොස්කෝ පියතුමා වර්ෂ 1888 ජනවාරි 31 වන දින අලුයම මිය ගියේය. මරණ මංචකයේ සිටියදී ඔහු සිය සැලේසියානුරුවන්ට මෙසේ කීවේය: “සහෝදරයන් ලෙස එකිනෙකාට ප්‍රේම කරන්න. සැමට යහපත කර නපුරෙන් වළකින්න .. මගේ පිරිමි ළමයින්ට කියන්න මම ඔවුන් ස්වර්ගයේ සිට බලා සිටින බව."
ශුද්ධවරභාවයට එසවීම 1929 ජුනි 02 වන දින අති උතුම් XI වන පියුස් ශුද්ධෝත්තම හිමිපාණන්
භාග්‍යවරයට එසවීම 1934 XI වන පියුස් ශුද්ධෝත්තම හිමිපාණන්

පාසල් දරුවන්ගේ සහ යෞවනයන්ගේ නාමසාන්තුවරයා වන,ශුද්ධ වූ ජොන් බොස්කෝ මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.

#StJohnBosco #Prayforus
#Saintoftheday #RVASinhala