ශුද්ධ වූ ජේන් ෆ්‍රැන්චෙස් මුනිවරිය

අද දින සුදුවර චරිතයෙන් අගෝස්තු 12වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ ජේන් ෆ්‍රැන්චෙස් මුනිවරිය ගැන කතා කරමු.

ජේන් ෆ්‍රැන්චෙස් උපත ලබන්නේ 1572 වසරේ ජනවාරි 28 වන දින ප්‍රංශයේ ඩිජෝන් නගරයේදී ය. ඇයගේ පියා පාර්ලිමේන්තු සභිකයකු වූ අතර මව ඇය උපත ලබා 18 කින් මරණයට පත් වූවාය. තම පියාගේ රැකවරණය තුළ හැදි වැඩුණු ඇය රූපශ්‍රියෙන් ද ප්‍රියමනාපශීලිව ද වර්ධනය වූවාය .

වයස අවුරුදු 21 දී ඇය බැරන් දි කැන්තොල් යන අය සමග විවාහ වූවාය. 1601 වසරේදී අනපේක්ෂිත ලෙස වෙඩි වැදීමකදී සිදු වූ තම සැමියාගේ මරණෙන් පසු දරුවන් සතර දෙනකු සමඟ වැන්දඹුවක් වූවාය. එවක් පටන් ඇය වෘතශුද්ධිය රකින බවට අධිෂ්ඨානයක් ඇති කර ගත්තා ය. පසු කලෙක තම පළමු දරු දෙදෙනා ඇයට අහිමි විය. එතුමිය තමන් සතු ධනයෙන් අසල්වාසී අසරණ වූවන් උදෙසා බොහෝ පරිත්‍යාගයන් කළ අතර හෙද සාත්තු කටයුතුවල ද නිරත විය.

අනපේක්ෂිත ලෙස වෙඩි වැදීමකින් සිදුවූ තම සැමියාගේ මරණයට සම්බන්ධ වූ තැනැත්තාට සමාව දීමට නොහැකිව සිටි ඇයට 1604 වසරේ චතාරික කාලයේ ෆ්‍රැන්සිස් දී සාල්ස් රදගුරු තුමා විසින් කරන ලද දේශනයක් අසා තම සිත වෙනස් කරගෙන අදාළ පුද්ගලයාට සමාව දුන්නාය. එම රදගුරුතුමන්වම ඇගේ ජීවිතේ අධ්‍යාත්මික පියතුමා කර ගත්තා ය.

තම දරුවන් වෙනුවෙන් සියලු යුතුකම් ඉටු කළ පසු ඇය පැවිදි ජීවිතයට ඇතුළු වීමට සිතා ගත්තාය. දේවමාතාවන්ගේ බැහැදකීමේ පැවිදි නිකාය නමින් ඇය විසින්ම ආරම්භ කරන ලද පැවිදි පන්තිය ශාරීරික රෝගී තත්ත්වයන් සහ මහලුවිය නිසා අනෙකුත් පැවිදි නිකායන්ගෙන් ප්‍රතික්ෂේප වූ කාන්තාවන් වෙනුවෙන් වෙන්විය.

1610 ජුනි 06 ශුද්ධවූ ත්‍රිත්වයේ ඉරුදින ශුද්ධ වූ සභාවේ අනුමැතිය මෙම පැවිදි නිකායට දෙන ලදී. පළමු වසර අට තුළ මෙම නිකායට බොහෝ අභියෝග වලට මුහුණ දීමට සිදු වූ අතර පසුව බොහෝ දෙනාගේ උදව් උපකාර ඇතිව මෙම නිකාය වර්ධනය වීමට පටන් ගන්නා ලදී. ෆ්‍රැන්සිස් දී සාල්ස් මුනිඳුන්ගේ මරණයෙන් පසු වින්සෙන්ති දී පාවුලා මුනිඳුන් මෙම පැවිදි පන්තියේ ආත්මීක පියතුමා විය.

1641 දෙසැම්බර් 13 වන දින එතුමිය සග ලොව දිනාගන්නා විට එම පැවිදි පන්තියට අයත් නිවාස 86 ක් ද එතුමියව සාන්තුවරභාවයට ඔසවන 1767 වසර වන විට නිවාස 164 ඉදි වී තිබුණි.

භාග්‍යවරයට එසවීම 1751 නොවැම්බර් 21 අති උතුම් xiv බෙනඩික් ශුද්ධෝත්තම හිමිපාණන් විසිනි.
ශුද්ධවන්ත භාවයට එසවීම 1767 ජූලි 16 අති උතුම් xiii ක්ලෙමන්ට් ශුද්ධෝත්තම හිමිපාණන් විසිනි.

අමතක කරන ලද පුද්ගලයින්ගේ ද, වැන්දඹු වූවන්ගේ ද ,දෙමව්පියන් අහිමිවූවන්ගේ ද සහ දරුවන්ගෙන් වෙන් කරන ලද දෙමව්පියන්ගේ ද නාම සාන්තුවරිය වන, ශුද්ධවූ ජේන් ෆ්‍රැන්චෙස් මුනිවරියනි, අප නිසා යාච්ඤා කළ මැනව.

#StJaneFrances #Prayforus
#Saintoftheday #RVASinhala

'RVASinhala' Facebook, Instagram, Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!