ශුද්ධවූ දසවන පියුස් මුනිඳුන්

අද දින සුදුවර චරිතයෙන් අගෝස්තු 21වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධවූ දසවන පියුස් මුනිඳුන් ගැන කතා කරමු.

එතුමන්ගේ උපන් නාමය ගුසෙප්පේ මෙල්කියෝර්රෙ සාර්තො වන අතර උපත ලබන්නේ 1835 ජුනි 02 දින ඉතාලියේ රියෙසේ නම් නගරයේ ය. (එවක ඔස්ට්‍රියානු රාජධානියට අයිති වූවකි) ජියොවන්නි බැටිස්ටා සාර්තො සහ මර්ගරිතා සන්සොන් යන දෙපළට දාව උපන් දරුවන් දස දෙනාගෙන් දෙවැන්නා වූයේ මෙතුමන් ය. ඔහුගේ පියා ගමේ තැපැල් කරුවෙකු වූ අතර දිළිඳු ජීවිතයක් ගත කළ ද ගුසෙප්පේ හට අධ්‍යාපනය ලබාදීමට අතපසු නොකළේය.

ගුසෙප්පේ කුඩා අවධියේදී සිය ග්‍රාමයේ විසූ පූජක තුමා සමග ලතින් භාෂාව හැදෑරීමට පටන් ගත්තේය. 1850 වසරේදී ත්‍රෙවිසෝ රදගුරුතුමන් විසින් ශිෂ්‍යත්වයක් ලබා ගන්නා ඔහු පාදුවා හි දෙව්සත්හලක ට ඇතුල් විය. එහි දී එතුමදී එතුමන් දර්ශනවාදය හා දේව ධර්ම ශාස්ත්‍රය පිළිබඳව හදාරා විශිෂ්ට ලෙස එය අවසන් කළේය. එතුමන් පූජකවරය ලබා ගන්නා ලද්දේ 1858 සැප්තැම්බර් 18 වන අතර ටොම්බොලො හි උපාධ්‍ය පියතුමකු ලෙස සේවය කළේය. දේව ධර්මය පිළිබඳව පුළුල් දැනුමක් තිබූ එතුමන් තෝමස් ඇක්වයිනාස් මුනිදුන් සහ සභා නීතිය පිළිබඳව ද හැදෑරීය.1867 දී මෙතුමන් ව සල්සානෝ හී රදගුරුතුමන් ලෙස පත් කරන ලද.

එතෙක් පටන් එතුමන් තමන් විසූ දේවස්ථානය ප්‍රතිසංස්කරණය කොට ඒ ආශ්‍රිතව තිබූ රෝහල ද බොහෝ දෙනාගේ උදව් උපකාර ඇතුව පුළුල් කරන ලදී.1870 වසරේ මුල් භාගයේ දී උතුරු ඉතාලිය පුරා පැතිරී ගිය කොලරාව වසංගත යෙදී රෝගීන් වෙනුවෙන් ඉමහත් වූ සේවාවක් කළ නිසා ජනතාව අතර එතුමන් ප්‍රසිද්ධ විය. පසුව එතුමන් දෙව්සත්හල් වල ද පාසල් වල ද දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වූ සේවාවක් කරන ලදී.

1878 වසරේදී ත්‍රෙවිසෝ හි රදගුරුතුමන් මියයන අතර ඒ සඳහා ගුසෙප්පේ රදගුරුතුමන් ගේ නම යෝජනා විය. එම තනතුරට තේරී පත් වන එතුමන් 1879 වසරේ දෙසැම්බර සිට 1880 වසරේ ජුලි දක්වා සේවය කළේය.

1893 ජුනි 12 දින අති උතුම් දහතුන්වන ලියෝ පාප්තුමන් විසින් එතුමන්ව කාදිනල් වරයකු බවට පත් කරන ලදි. කාදිනල් වරයකු ලෙස ද එතුමන් බොහෝ සෙයින් සාමාජීය වැඩ සඳහා තම කාලය වැඩි වශයෙන් වෙන් කළේය.1903 ජුලි 20 දි xiii වන ලියෝ පාප්තුමන් ස්වර්ගස්ථ වූ පසු 1903 අගෝස්තු 04 වන දින එතුමන්ව 257 වන පාප් තුමන් ලෙස පත් කර ගන්නා ලදී. පාප් ධුර අභිෂේකය 1903 අගෝස්තු 09 දින වූ අතර දසවන පියුස් ලෙස පාප් ධුරයේ නාමය එතුමන් විසින් ගන්නා ලදී.එතුමාණන්ගේ ආදර්ශ පාඨය වූයේ "සියල්ල ක්‍රිස්තුස් වහන්සේ තුළ යථා තත්ත්වයට පත් කිරීම" යන්නයි.

ඉතා සරල දිවි පැවැත්මක් ගත කළ එතුමන් දරුවන් සමඟ ඉතා මිත්‍රශීලී කෙනෙකු ලෙස කල් ගත කළේය.ජන වන්දනාව තුළ ද බොහෝ අර්ථවත් වෙනස්කම් බොහොමයක් මෙතුමන් විසින් සිදු කරන ලදී .එතුමන් විසින් ශුද්ධවූ සභාවේ විවිධ ක්ෂේත්‍රයන් හට බොහෝ දායාදයන් එක් කළේය. 1913 වසරේදී හෘදයාබාධයක ට ලක්වන එතුමන් දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් නිසා 1914 අගෝස්තු 15 දේව මාතාවන්ගේ ස්වර්ගාරෝපණ මංගල දින බොහෝ සෙයින් රෝගාතුර විය. 1914 අගෝස්තු 20 වන දින එතුමන් සග ලොව දිනා ගත්තේය.

භාග්‍යවරයට එසවීම 1951 ජුනි 03 වන දින අති උතුම් xii පියුස් ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
ශුද්ධවර භාවයට එසවීම 1954 මැයි 29 වන දින අති උතුම් xii පියුස් ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.

පළමුවර දිව්‍ය සත්ප්‍රසාද ලබන දරුවන්ගේ සහ වන්දනාකරුවන්ගේ නාම සාන්තුවර, ශුද්ධවූ දසවන පියුස් මුනිඳුනි අප නිසා යාච්ඤා කළ මැනව.

#StPiusX #Prayforus
#Saintoftheday #RVASinhala

'RVASinhala' Facebook, Instagram, X Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!