අසීසියේ ශුද්ධවූ ක්ලෙයා මුනිවරිය

අද දින සුදුවර චරිතයෙන් අගෝස්තු 11වන දිනට මංගල්‍යය යෙදෙන අසීසියේ ශුද්ධවූ ක්ලෙයා මුනිවරිය ගැන කතා කරමු.

මෙතුමිය උපත ලබන්නේ 1194 වසරේ ජූලි 16 වන දින ඉතාලියේ අසීසියේ වංශවත් ධනවත් පවුලකට දාව ය. පවුලේ වැඩිමල් දියණිය වූ ඇයගේ පියා ෆවොරිනෝ ස්කිෆ්ෆි සහ මව ඔර්තොලානා නම් විය.

කුඩා දරුවකු ලෙස ඇය යාච්ඤා ජීවිතයට මහත් නැඹුරුවක් දැක්වූවා. චතාරික කාලයේ අසීසියේ සාන්ත ජෝර්ජ් දෙව්මැදුරේ දී අසීසියේ ෆ්‍රැන්සිස් මුනිඳුන් විසින් චතාරික දේව මෙහෙයක කළ දේශනයක් අසා තමන් හට ශුද්ධ ලියවිල්ලට අනුව දිවි ගෙවන්නට මග පෙන්වන මෙන් ඉල්ලුවාය.
1212 මාර්තු 20 වන ගොබ් ඉරුදින ඇය තම නිවස හැර දමා තම ඥාතිවරියක වන බියන්කා හා යෙහෙලියක් සමග ගොස් පොර්සියුන්කුලා හි දෙව්මැදුරක දී ෆ්‍රැන්සිස් මුනිඳුන් හමුවිය. එහිදී ඇය තම දිගු වරලස කපා දමා තම වටිනා ඇඳුම වෙනුවට සරල ලෝගුවකින් සහ හිස් පළඳනාවකින් සැරසුණාය. ෆ්‍රැන්සිස් මුනිඳුන් විසින් එතුමියව සන් පාවුලෝ හි පිහිටි බෙනදිකානු කන්‍යාරාමයක නවත්වන ලදී.
තම පියා විසින් නැවත නිවසට එන මෙන් බොහෝ වර පෙරැත්ත කළ ද එතුමිය එය ප්‍රතික්ෂේප කරමින් තමන් ජේසු සමිදාණන් සරණ කොට ගෙන අවසන් බවත් වෙනත් කිසිදු විවාහයක් කිරීමට සූදානම් නැති බවත් ප්‍රකාශ කළාය. සියලු බැඳීම්වලින් මිදී තව දුරටත් හුදකලා වීමට ඇය අදහස් කළ නිසා ෆ්‍රැන්සිස් මුනිඳුන් එතුමියව පාන්ට්සෝ හී සන්ට් අන්ජලෝ නම් වෙනත් තාපසාරාමයට යවන ලදී. වැඩි කාලයක් ගතවන්නට පෙර ඇයගේ සොයුරියක් වූ කැතරිනා ද එතුමිය සමඟ එක්වූවාය.
සන් දමියානෝ දේවස්ථාන අසල ෆ්‍රැන්සිස් මුනිඳුන් විසින් වසර කිහිපයකට පෙර අලුත්වැඩියා කරන ලද ස්ථානයක් ඔවුන් දෙදෙනා වෙනුවෙන්ම ලබා දෙන ලදී. තවක් කාන්තාවක් ඔවුන් සමග එක් වන අතර 'සන් දමියානෝ හී දිළිඳු ස්ත්‍රීන්' ලෙස ඔවුන් ව හඳුන්වා ගන්නා ලදී.
සරල දිළිඳු ජීවිත පැවැත්මකින් සහ ලෞකිකත්වයෙන් මිදුනු ජීවිතයක් ගත කිරීමට මොවුන් යොමුවිය. ක්ලෙයා මුනිවරියගේ ජීවිත කාලය පුරාවටම මෙම පැවිදි පන්තිය හඳුන්වනු ලැබූයේ 'සන් දමියානෝ හී දිළිඳු ස්ත්‍රීන්ගේ පැවිදි පන්තිය' නමිනි. එතුමියගේ මරණයෙන් අවුරුදු දහයකට පසු එනම් 1263 දී මෙම පැවිදි පන්තිය 'ශාන්ත ක්ලෙයාගේ පැවිදි පන්තිය' ලෙස හඳුන්වන්නට පටන් ගන්නා ලදී.
තම පැවිදි පන්තියෙ ව්‍යාප්තිය වෙනුවෙන් බොහෝ සෙයින් කටයුතු කළ එතුමිය 1253 අගොස්තු 11 දින සගලොව දිනා ගන්නා ලදී. ශුද්ධවන්ත භාවයට එසවීම 1255 සැප්තැම්බර් 26 වන දින අති උතුම් iv වන ඇලෙක්සැන්ඩර් ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
මෙතුමිය ඇස් රෝග, රන්කරුවන් සහ යහපත් කාලගුණයේ නාම සාන්තුවරිය ලෙස හදුන්වනු ලැබේ.

#StClareofAssisi #Prayforus
#Saintoftheday #RVASinhala

'RVASinhala' Facebook, Instagram, Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!