ගුරු දිනය

ගුරු දිනය

ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තීය සමිති නායකයෙකු වූ එම්.පී.මෙන්ඩිස් මහතා විසින් ජාත්‍යන්තර ගුරු දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් 1993 දී ලෝක ගුරු සංසදය වෙත කරන ලද ඉල්ලීම ලෝකයටම පොදු ගුරු දිනයක් සැමරීම සඳහා එකඟත්වයක් ඇති වීමට මූලික හේතුව විය. ඒ අනුව ඔක්තෝම්බර් 5 ලෝක ගුරු දිනය ලෙස නම් කෙරෙන්නේ යුනෙස්කෝ ආයතනය හා ලෝක කම්කරු සංවිධානය එක්ව ලෝක ගුරු ප‍්‍ර‍්‍රඥප්තිය අත්සන් කිරීමට යෙදුනු 1966 ඔක්තෝම්බර් 05දින සිහිපත් කරමිනි. ඒ අනුව ප්‍රථම වරට ලෝක ගුරු දිනයක් සමරනු ලබන්නේ 1994 දී ය. 
ලොව ශ්‍රේෂ්ඨතම වෘත්තීන් අතර ගුරු වෘත්තිය මුල් තැන ගන්නේ ලෝකයේ හා මනුෂ්‍ය වර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වු මග නොමග පසක් කරන මාර්ගෝපදේශකයා ගුරුවරයා වන හෙයිනි. 
ළදරුවන්ට වැටි වැටි නැගිටින්නට දෙමාපියන් උදවු වන්නේ යම් සේද, සමාජයේ නොවැටී සිටින්නට අවැසි ආකල්පමය පදනම සපයමින් දරුවෙකුට ලෝකය දකින්නට, ලෝකයේ හිස ඔසවා ජීවත් වන්නට හුරු කරවන්නේ ගුරු මව් පියවරු වෙති. දරුවන්ගේ විවිධතා හඳුනාගනිමින් ඔවුන් සතු සැඟවී ඇති ශක්‍යතා ඉස්මතු කරන ගුරුවරයා ඒ ඔස්සේ ආලෝකය කරා පියමනින්නට අවශ්‍ය ජීවය හා ශක්තිය දරුවන් වෙත ආරෝපනය කරයි. එනම් දරුවන්ගේ අනාගතය සැලසුම් කරන්නේ ගුරුවරයා බව පැහැදිලි ය. එබැවින් ඉගැන්වීමෙන් ඔබ්බට යන සුවිශේෂී හා වටිනා සේවයක් අනාගතය සඳහා සළසා දෙන්නේ ද ඔවුන්මය. 
 සෑම ප්‍රශස්ත ගුරුවරයකුගේම අරමුණ වන්නේ තමා තරුවක් නම් තම සිසුවා සුර්යයා මෙන් බබළනු දැකීමයි. එබඳු උදාර වූ, උතුම් වූ චින්තනයකින් පිරිපුන්ව සිය සේවාව සිදු කරන එකම වෘත්තිකයාද ගුරුවරයා පමණකි.
1966 ලෝක ගුරු ප්‍රඥප්තියට අත්සන් කර දින සිට ගුරු වෘත්තීයේ ස්වාභාවය හා සංවර්ධනය පිළිබඳ කතිකාවක් ආරම්භ කිරීමට කාලය අද වන විට එළඹ තිබේ. ගුරැ වෘත්තියේ යෙදෙන්නන් අද වන විට තම වෘත්තිය පිළිබඳ සාකච්ඡා ආරම්භ කළ යුතු වන අතර, මේ සම්බන්ධයෙන් රජයයන්ට වඩා ගරු වෘත්තිය සමිති තම පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර වලින් බැහැර වී ගරුවරයාට අද ඇති තත්ත්වය පිළිබඳ විමසීමක් කිරීම වටි.
බොහෝ පාසල්වල නිල වශයෙන් ගුරු දිනය සමරනු ලබන්නේ ඔක්තෝබර් 6 වැනිදාය.
තනන්නට නව ලොවක්
යහ ගුණදමින් සපිරි
දැයේ දරුවන් අඹන
ගුරු මව්නි - පියෙනි
ඔබ නිදුක් වේවා!
නීරෝගී වේවා!
දිඝායූ වේවා!

#TeachersDay #Teachers #RVASinhala

'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!