ශුද්ධ වූ ෆවුස්තිනා කොවල්ස්කා මුනිවරිය

අද දින සුදුවර චරිතයෙන් ඔක්තොම්බර් 05වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ ෆවුස්තිනා කොවල්ස්කා මුනිවරිය ගැන කතා කරමු.
ෆවුස්තිනා කොවල්ස්කා උපත ලබන්නේ 1905 අගෝස්තු 25 වන දින පෝලන්තයේ ග්ලොගොවික් ග්‍රාමයේ බැතිමත් දිළිඳු යුවළකට දාව උපන් දරුවන් දස දෙනාගෙන් තුන් වැන්නා ලෙස ය. හෙලේනා යනු ඇයගේ බෞතිස්ම නාමය ය. කුඩා කාලයේ පටන් ඇය ඇය යාච්ඤාව කෙරෙහි ගැඹුරු ඇල්මක් දැක්වූ අතර කීකරු කමින් සහ නිවසේ වැඩ කටයුතු කරමින් ද දුප්පතුන් කෙරෙහි සංවේදී ජීවිතයක්ද ගත කළාය.
වයස අවුරුදු හතේදී ඇය තුළ පැවිදි ජීවිතයට ඇතුළු වීමේ ආශාවක් ඇති වූ අතර ඇය ප්‍රථම වතාවට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගත්තේ වයස අවුරුදු 9 දී ය. එම මොහොත ඇයගේ ජීවිතයට ගැඹුරු අධ්‍යාත්මික අත්දැකීමක් එක් කළ අවස්ථාවක් විය. වසර තුනකට පමණක් සීමා වූ ඇගේ පාසල් අවදියෙන් පසු කන්‍යාරාමයක ඇතුළු වීමට අදහස් කළ ද දෙමවුපියන්ගේ අනුමැතිය නොලැබිණි.
නමුත් හෙලේනා තම සිත තුළ තිබූ පැවිදි ජීවිතයට ඇතුළු වීමේ අදහස අත් නොහැරිය අතර ජේසුස් වහන්සේගේ දුක් විඳීමේ දර්ශනයකින් අනතුරුව 1925 අගෝස්තු 01 වන දින ඇය දයාවේ අප ස්වාමිදූගේ පැවිදි නිකාය ට ඇතුළු විය. එහිදී ඇය දිව්‍ය සත්ප්‍රසාදයේ මේරි පවුස්තිනා පැවිදි සොයුරිය ලෙස නම ලබාගත්තාය. වසර දහ තුනකට ආසන්න කාලයක් තම නිකායේ විවිධ නිවාස වල මුළුතැන්ගෙයි සහ ගෙවත්තේ පමණක් නොව බඩු බාහිරාදිය රැගෙන යාම වැනි වැඩ කටයුතු වල ද ඉතා බැහැපත්ව නිරත වූ බාහිර ආකාරයෙන් ඇයගේ අධ්‍යාත්මිකව ජීවිතය තුළ කැපී පෙනන ලක්ෂණයන් පෙන්නුම් නොකළද ඇය පුදුමාකාර වූ ජ්වලිත භාවයකින් යුතුව තමන් වෙත පැවරුණු කාර්යයන් ඉටු කළාය. ඒකාකාරී ජීවිත රටාවක ඇයගේ ජීවිතය පැවතුණ ද අසාමාන්‍ය වූ සහ ගැඹුරු අධ්‍යාත්මික සම්බන්ධකමක් දෙවියන්වහන්සේ හා පවත්වාගෙන ගියාය. ෆවුස්තිනා පැවිදි සොහොයුරිය ශුද්ධ වූ සභාවේ විශ්වාසවන්ත දියණියක් වූ අතර ඇය ශු.සභාව සලකන ලද්දේ මාතාවකට සහ ආශ්චර්යමත් ක්‍රිස්තු දේහයට මෙන්ය.
ජේසුස් වහන්සේ පවුස්තිනා පැවිදි සොයුරියව තම දේව දයාවේ අපෝස්තුළුවරිය ලෙස තෝරා පත් කර ගත් සේක. 'මාගේ ආත්මයේ දේව දයාව' නමින් දිනපොතක් සටහන් කරමින් ඇය නිරන්තරයෙන් දේව දයාවේ සමිදුන්ගේ පණිවිඩය ලොවට ගෙන හැර පෑවාය. පසු කලෙක තමන් වෙත වැළදුණු ක්ෂය රෝගය සියලු පව්කාරයන් වෙනුවෙන් තමන් විසින් කරනු ලබන පූජාවක් ලෙස ඔප්පු කළා ය. 1938 ඔක්තෝබර් 05 වන දින වයස 33 දී ඇය තම අවසන් හුස්ම හෙළන ලදී.

#StFaustinaKowalska #Prayforus
#Saintoftheday #RVASinhala

'RVASinhala' Facebook, Instagram, X Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!