ශුද්ධ වූ රීටා මුනිවරිය

අද දින සුදුවර චරිතයෙන් මැයි 22වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ රීටා මුනිවරිය ගැන කතා කරමු. 

ශු. රීටා තුමිය (1381 - 1457)

ඉතාලියේ උම්බ්‍රියාවේ කසියා ගමේ උපන් මර්ගරීතා ලොත්ති ගම්මු අතර ප්‍රසිද්ධ වූයේ නමේ අග කොටසිනි, එනම් රීටා යන නමිනි. මේ කෙටි නාමය සාන්තුවර නාමාවලියට එක් වේවි යැයි ඒ කිසිවෙකුත් සිතන්නට නැත.

ධනවත් මාපියෝ ඇගේ විරෝධයද නොතකා පාඔලෝ මන්චිනි නම් ධනවත් එමෙන්ම දරදඬු මිනිසෙකුට එතුමිය විවාහ කරදුන්හ. එතුමිය යහපත් බිරිඳක් ද පුතුන් දෙදෙනකුගේ දයාබර මවක් ද වෙමින් පවුලේ කටයුතු මනාව ඉටුකළාය. එතුමියගේ සැමියාගේ ස්වභාවය නිසාම එතුමියට විදින්නට සිදුවූ ගැහැට අපමණය. නමුත් ඒ සැම ඕ උපේක්ෂාවෙන් දරාගත්තාය. ධනවත් පවුල් අතර වූ ආරවුලකදී ඇගේ සැමියා මැරුම් කෑ අතර එතුමිය ප්‍රසිද්ධියේම ඒ මිනීමරුවන්ට කමා කළාය. කලකට පසු ඇගේ පුත්තු ද පාචනය රෝගයට ගොදුරුව මියගියහ. දස අට වසරක් බිරිඳක් ද මවක් ද ලෙස විසූ ඇය එක වරම වැන්දඹුවක් වූවාය. දරුවන්ද අහිමි වූයෙන් මෙලොව සියලු බැදීම් වලින් මිදීමට ඉඩ ලද එතුමිය කුඩා කල පටන් තමන් තුළ වූ තාපසිකාවක වීමේ අරමුණ වෙත යළිත් පියමැන්නාය.

තිස් හය වන වියේදී කසියාවෙ ශු.අගුස්තීනු නිකායික කන්‍යාරාමයට එතුමිය පිවිසුණේ බාධා මැදය. පැවිදි සොයුරියක් ලෙස ජීවිතයේ ඉතිරි කාලය යැදුමෙන් නිහඬව ගෙවූ ඕ සැමවිටම කිතු සමිදුන්ගේ දුක්ප්‍රාප්තිය හා එකාග්‍රවීමේ උත්සාහයක සිටියාය.

දිනක් සුපුරුදු පරිදි කුරුස ප්‍රතිමාව අබියස යැදුමෙන් දැහැන්ගතව සිටි අවස්ථාවක ඇගේ නළල මත හටගත් කුඩා තුවාලයක් මගින් එතුමියට ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය හා සම්බන්ධ වීමේ ඉඩකඩ උදාවූ බව කියැවේ.

එතුමිය අගුස්තීනු නිකායික පැවිදි වරියක ලෙස හිද 1457 මැයි 22 දා ක්ෂය රෝගයට ගොදුරුව මියගියාය.

1626 භාග්‍යවරයට ඔසවනු ලැබූ එතුමිය 1900 දී ශුද්ධවන්තියක ලෙස නම්කෙරිණි. එතුමිය දුෂ්කර කාරණා වලදී මැදිහත් වන මුනිවරිය මෙන්ම විවාහයේ ගැටලු වලට මුහුණ දෙන්නන්, අපහරණයට ගොදුරු වූවන්, වැන්දඹුවන්ගේද ආරක්ෂක මුනිවරියක ලෙස සලකනු ලැබේ.

එතුමියගේ මෘත ශරීරය ගොඩගත් අවස්ථා කීපයකම එය නොදිරා තිබූ අතර අදත් එම නොදිරූ සිරුර කසියාහී බැසිලිකාවේ ප්‍රසිද්ධියේ තබා ඇත.

එතුමියගේ නමට කැපකළ දේවස්ථාන කීපයක්ම දිවයිනේ ප්‍රදේශය කීපයක පිහිටා ඇත. එනම්
මාඑළිය (ජාඇල ),
තල්දෙක (දුම්මලදෙණිය),
නාවාන (මීරිගම ),
කඩිගමුව (කුරුණෑගල පදවිය )
නානුඔය
ඉලවාලෙයි
මීට අමතරව රත්මලාන ස. මරියා දේවස්ථානයද එතුමිය වෙනුවෙන් විශේෂ බැතියක් පිදෙන ස්ථානයකි.

#StRita #Prayforus
#Saintoftheday #RVASinhala

'RVASinhala' Facebook, Instagram, Twitter පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!