ශුද්ධ වූ මරියා ගොරෙත්ති මුනිවරිය

අද දින සුදුවර චරිතයෙන් ජූලි 06 වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ මරියා ගොරෙත්ති මුනිවරිය ගැන කතා කරමු.

මරියා ගොරෙත්ති උපත ලබන්නේ 1890 ඔක්තෝම්බර් 16 වන දින ඉතාලියේ කොරිනාල්ඩෝ හීදී ය. ලුයිජි ගොරෙත්ති සහ ආසුන්තා කාර්ලිනි යන යුවලට දාව උපන් දරුවන් හත් දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැන්නා වූයේ මරියා ය.

ඇයගේ වයස අවුරුදු පහේදී පවුලේ ඇති වූ දැඩි ආර්ථික අපහසුතාවය නිසා තම ගොවිපල අතහැර දමා අනෙකුත් ගොවිපළවල සේවය කිරීමට සිදුවිය.

1896 දී එම ගොවිපල අතහැර දමා මුළු පවුලම පලියානෝ ප්‍රදේශයේ කොල්ලෙ ගියන්තුර්කො යන ස්ථානයට ගොස් පදිංචි විය.

එහිදී කුලියට ගන්නා ලද ගොවිපොලක අවුරුදු තුනක පමණ කාලයක් ඉතා වෙහෙස වී වැඩ කිරීමට ඔවුනට සිදුවිය.

නැවතත් තම පදිංචිය වෙනස් කරන ඔවුන් පෙරියේ නම් ස්ථානයට යන අතර මෙම ස්ථානය කලින් ස්ථානයට වඩා දුෂ්කර තැනක් විය.

පියාට මැලේරියා රෝගය වැළදුන නිසා මරියා තම මව සමඟ ඔහුට සත්කාර කළාය. නමුත් එම රෝගී තත්වයේ නිසා තම පියා මියගිය බැවින් එය තම මව සමඟින් පවුලේ වගකීම් භාර ගත්තාය. ඇය වයසින් වැඩෙන විට ශාරීරිකව රූමත් පෙනුමෙන් වගේම අධ්‍යාත්මික පිරිසුදු කමින් ද පිරිපුන් වූවාය.

සියලු ආකාර පාපිෂ්ඨ ආශාවන් හා හැඟීම් වලින් මිදුණු ඇය ප්‍රථම වතාවට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන දිනයේ දී "මැරෙන්නට සිදු වුවත් මා මගේ දේව ජීවිතය නැති කර ගන්නේ නැත" යනුවෙන් පොරොන්දුවක් දී පොතක සටහන් කර තැබුවාය.

ඇයට වයස අවුරුදු දොළහේදී ඇලෙක්සැන්ඩ්‍රෝ නම් තරුණයෙක් ඇය කෙරෙහි පාපිෂ්ඨ සිතක් ඇතිවී කිහිප වරක් ඇය පාපය පොළඹවන්නට උත්සාහ දැරුවේය. අවසානයේදී තම පාපිෂ්ඨ ආසාව ඉටුකරගත නොහැකිව ඇලෙක්සැන්ඩ්‍රෝ ඇයට පිහියකින් ඇන බරපතළ ලෙස තුවාල කළේය. ඇගේ සිරුරේ පිහි ඇනුම් 14ක් විය. වෛද්‍ය ප්‍රතිකාර කළ ද තුවාල වල බරපතලකම නිසා ප්‍රාණපරිත්‍යාගීවරියක ලෙස ඇය තම අවසාන හුස්ම හෙළීය. ඊට මත්තෙන් ඇයට පිහියෙන් ඇණ තුවාල කළ ඇලෙක්සැන්ඩ්‍රෝට ඇය සමාව දුන්නාය. එය ඔහුගේ දිවියද වෙනස් කිරීමට රුකුල් විය.

භාග්‍යවරයට esaවීම 1947 අප්‍රේල් 27 අති උතුම් දොළොස් වන පියුස් ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.

ශුද්ධවරභාවයට එසවීම 1950 ජුනි 24 අති උතුම් දොළොස් වන පියුස් ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.

එතුමිය යෞවනියන්ගේ ද, දූෂණයට ලක්වූවන්ගේ ද නාම සාන්තුවරිය ලෙස සැලකේ.

#StMariaGoretti #Prayforus
#Saintoftheday #RVASinhala

'RVASinhala' Facebook, Instagram, Twitter පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!