ශුද්ධ වූ ජුසේ මුනිඳුන්

අද දින සුදුවර චරිතයෙන් මාර්තු 19වන දිනට මංගල්‍යය යෙදෙන ජේසු සමිඳුන්ගේ සුරැකි පියා වන, ශුද්ධ වූ ජුසේ මුනිඳුන් ගැන කතා කරමු.

ජේසු තුමන්ගේ සුරැකිපියාණන් වන ශුද්ධවූ ජුසේ තුමා අපි හොදින් හදුනමු. ජුසේ තුමා හැමවිටම දේව කැමැත්ත ඉටු කිරීමට සුදානම් වී සිටියේය. එතුමා යාච්ඤාවට ලැදි නිශ්ශබ්දතාවයෙන් සිත් එකග කර ගැනීම ඉතා අගය කල තැනැත්තෙකි.

ජුසේ තුමා ලූක් සුබාරංචිය තුළ ජේසුස් වහන්සේගේ පියා ලෙස සහ මතෙව් සුබාරංචිය තුළ වංශාවලියේ පෙනී සිටියි. මතෙව් සහ ලූක් යන දෙදෙනාගේම ජේසුස් වහන්සේගේ පෙළපත දාවිත්ගෙන්, නමුත් විවිධ පුතුන් හරහා පෙන්නුම් කරයි; මතෙව් සලමොන්ගේ ප්‍රධාන රාජකීය පෙළපත අනුගමනය කරන අතර, ලූක් දාවිත් සහ බෙත්ෂෙබාගේ පුත්‍රයෙකු වන නාතන් ඔස්සේ වෙනත් මගක් සොයා ගනී. එහි ප්‍රතිඵලයක් වශයෙන්, දාවිත් සහ ජුසේ තුමා අතර ඇති සියලුම නම් වෙනස් වේ. මතෙව් 1:16 ට අනුව "ජාකොබ්ට දාව මරිය තුමීගේ පුරුෂයා වූ ජෝසෙප් ද උපන්නෝ ය", ලූක් 3:23 ට අනුව ජෝසප් "හේලිගේ පුත්රයා" යැයි කියනු ලැබේ. 

ශුභාරංචිය කියවන විට ශු. ජුසේ තුමා අපට මුලින්ම මුණ ගැසෙන්නේ මරිය තුමිය ගැබ්ගත් අවස්ථාවේදීය. ”මරිය තුමී ජෝශප් හා ගිවිස ගෙන සිටියදී ඔවුන් එක්වන්නට පෙර ශුද්ධාත්මයාණන්ගේ අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී. ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝශප් සත්පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේම නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අත්හැර දමන්නට සිතා ගත්තේය. ( මතෙව් 1 : 18 – 19 ) එහෙත් දෙවියන් වහන්සේ එයට මැදිහත් වූ සේක. එතුමා වෙත දේව දුතයෙකු ඒවා මරියතුමී දරුවා ගැබ් දැරුවේ ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් බවත්, ඒ දරුවා ජනතාව පාපයෙන් ගලවා ගැනීමට නියම වී ඇති නිසා ඒ දරුවාට ” ජේසු” යන නාමය තැබීමටත් නියම කළේය.

ජේසුතුමා ඉපදීමට නියම කාලය පැමිණි විට, අගරජතුමා නියම කල නියෝගයක් නිසා ජුසේ තුමා හා මරිය තුමී බොහෝ දුර පිහිටි බෙත්ලෙහෙම් නුවරට තම තමන්ගේ නම් ලියාපදිංචි කිරීම සදහා ගමන් ගත්තෝය. ඔවුන් බෙත්ලෙහෙමේ නුවරට පැමිණි විට එදා රාත්‍රිය ගත කිරීමට ඉඩක් සොයා ගැනීම අපහසු වූ නිසා ජුසේ තුමාට මහත් දුකක් දැනෙන්නට ඇත. මන්ද, මරියතුමියගේ දරුවා කවරෙක් දැයි එතුමා දැන සිටි නිසාය. එබැවින් ලොව ගැලවුම්කාරයන් වන දේව පුත්‍රයාණන් වහන්සේට , ඉපදීමට ගවලෙනක් තුළ ගව ඔරුවක් පිලියල කිරීමට එතුමා බොහෝ ලතවන්නට ඇත. එහෙත් ජුසේ තුමා මේ සියල්ලම දේව කැමැත්ත ලෙස මුළු හදින් පිළිගත්තේය.

පසුව දරුවා හා මව රැගෙන ඊජිප්තු දේශයට පලා යාමට මධ්‍යම රාත්‍රියේ ලද පණිවුඩය නිසා කුමන බයකින් හා කරදරයකින්, නොහදුනන දේශයකට දුර කතර ගෙවා යාම අරබන්නට ඇත්ද? එහෙත් එතුමා තුල දෙවියන් වහන්සේ කෙරෙහි අචල විශ්වාසයක් තිබිණි. ( මතෙව් 2 / 13 )

දරුවා වර්ධනය වෙත්ම ජුසේ තුමා කුමන ප්‍රේමයකින් හා ගෞරවයකින් රැකවරණය කරන්නට ඇත්ද ? දේවදුත පණිවුඩයෙන් පසු මව හා දරුවා රැගෙන නාසරතයට නැවත ගියේය. පසුව ජේසු කුමරා ඔහුගේ සුරැකි පියාගේ වඩු කර්මාන්තය ඉගෙන ගෙන ඔහුට උදව් විය.

ජේසු තුමා අවුරුදු 12 දී දේව මාලිගාවේ නැතිවූ විට ජුසේතුමා හා මරියතුමියට කුමන වේදනාවක් ඇතිවන්නට ඇද්ද? එහෙත් ඔවුන් දරුවා වේද පණ්ඩිතයන් මැද සිටිනවා දුටු විට සතුටින් ඉපිලී යන්නට ඇත. ( ලුක් 2 / 41 )

ශුද්ධවූ පවුලේ මුලිකයා වශයෙන් එතුමා මරියතුමී හා ජේසුතුමන්ට ආදරයෙන් තම පවුලේ වගකීම් ඉටු කළේය. ජුසේතුමාගේ ශුද්ධවන්ත ජිවිතයට ලැබුණු උපහාරය නම් දෙව්මව් සහ ජේසුතුමන්ගේ හස්තයෙහි තම අන්තිම හුස්ම හෙලීම සහ ගැලවුම්කාර ජෙසුතුමාම තම ආදරණිය සුරැකි පියාගේ ආත්මය දෙවිපියාණන්ට භාරදීමය. එම නිසා සුභ මරණයේ ආරක්ෂක සාන්තුවරයා වශයෙන් ශුද්ධවූ සභාමාතාව එතුමා හදුන්වයි.

ජුසේ තුමා විශ්ව සභාව, පවුල්, පියවරුන්, ගැබිනි මව්වරුන් (ගර්භනී කාන්තාවන්), සංචාරකයින්, සංක්‍රමණිකයන්, නිවාස විකුණන්නන් සහ ගැනුම්කරුවන්, ශිල්පීන්, ඉංජිනේරුවන් සහ පොදුවේ වැඩ කරන ජනතාවගේ නාමසාන්තුවරයා ද වේ.

අපි ජුසේ තුමා වෙනුවෙන් මංගල්‍යය දින දෙකක් සමරමු: එනම් මාර්තු 19 - සුරැකි පියා හා මරියාණන්ගේ ස්වාමි පුරුෂයා වන ජුසේ තුමා සහ මැයි 1 - කම්කරු ජුසේ තුමා යන ලෙසයි. මාර්තු මාසය ජුසේ තුමා වෙනුවෙන් කැප කර ඇත. මාර්තු 19 ජෝසප් සඳහා බහුලවම සමරනු ලබන මංගල්‍ය දිනය වී ඇති අතර, වෙහෙස මහන්සේ වී වැඩ කරන ජනතාව එතුමාගේ ආරක්ෂාවට භාර කරමින් කම්කරුවන්ගේ සාන්තුවරයා වන ශුද්ධවූ ජුසේ තුමාගේ මංගල දිනය මැයි මස 01 වන දින වශයෙන් 12 වන පියුස් ශුද්ධෝත්තම පියතුමා 1955 වසරේ ප්‍රකාශයට පත් කරන ලදී. මෙය මැයි දිනය (ජාත්‍යන්තර කම්කරු දිනය) යි.

ජේසු සමිඳුන්ගේ සුරැකි පියා වන, ශුද්ධ වූ ජුසේ මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.

#StJoseph #Prayforus
#Saintoftheday