ලොයොලා හි ශුද්ධ වූ ඉග්නේෂියස් මුනිඳුන්

අද දින සුදුවර චරිතයෙන් ජූලි 31වන දිනට මංගල්‍යය යෙදෙන ලොයොලා හි ශුද්ධ වූ ඉග්නේෂියස් මුනිඳුන් ගැන කතා කරමු.

මෙතුමන් උපත ලබන්නේ 1491 වසරේ ඔක්තෝබර් මස 23 වන දින ස්පාඤ්ඤයේ අස්පේෂියා නගරයේ ය. දරුවන් දහතුන් දෙනෙක්ගෙන් යුත් පවුලේ බාලයා වූ එතුමන්ගේ උපතෙන් නොබෝ දිනකට පසු තම මව අහිමි විය.

එතුමන්ගේ බෞතිස්ම නාමය ඉනිගෝ වූ අතර පසුව ඉග්නේෂියස් යන ලතින් නාමය භාවිත කරන ලදී. යොවුන් වියට එළඹෙත්ම එතුමන් කැසිටිල් රාජ්‍යයේ භාණ්ඩාගාරික නිලය දැරූ තම ඥාතිවරයකුගේ සහයකයකු ලෙස කටයුතු කළේය.

තරුණයකු ලෙස යුධ අභ්‍යාස කෙරෙහි සහ තමන් හට කීර්තියක් අත්පත් කර ගැනීම සඳහා ආශා විය. එම නිසාම වයස අවුරුදු දාහතේදී ඔහු හමුදාවට බැඳුණේය. විසිතුරු ඇඳුමින් සැරසෙන්නට පුරුදු වූ ඔහු දක්ෂ නර්තන ශිල්පියෙක් සහ රළු කඩු හරඹ ශිල්පියෙක් විය.

1521 වසරේ සිදු වූ පැම්ප්ලෝනා සටනේදී කාලතුවක්කු ප්‍රහාරයකින් ඔහු බොහෝ සේ තුවාල ලබා දකුණු පාදය බිඳී ගියේය. සැත්කම් කීපයකින් පසුව දකුණු පාදය සුවකළ ද වම් පාදයට වඩා එම පාදය කෙටි විය. එයින් මුළු ජීවිත කාලයටම ආබාධිතව වූ ඔහුගේ හමුදා ජීවිතය ද අවසන් විය.

ඔහුගේ ජීවිතය අධ්‍යාත්මික නැඹුරුවකට යොමු වූයේ ප්‍රතිකාර ලබන අවදියේ ය. එම සිත් හැරීම ඔහුව පැවිදි ජීවිතය කරා යොමු කරන්නට සමත් විය. මේ සඳහා බොහෝ සෙයින් බලපානු ලැබුවේ එතුමන්ගේ නෑනා වූ මැග්ඩලිනා දි අරාඔස් ලබා දුන් ආගමික කියවීම් ය.

එවක් පටන් අසීසියේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් මුනිදුන්ගේ සහ තවත් බොහෝ තාපසවරුන්ගේ ජීවිතාදර්ශය අනුගමනය කිරීමට එතුමන් පටන් ගත්තේය. භාවනායෝගීව ගත කිරීම තම අධ්‍යාත්මික ජීවිතයේ ප්‍රධාන අංගයක් කොට එතුමන් සැලකීය.

තමන් හට ඇවිදීමට හැකියාව ලැබුණු විගස ශුද්ධ වූ දේශය කරා වන්දනා ගමනක යෙදෙමින් ක්‍රිස්තුස් වහන්සේ පය තැබූ භූමිය සිප ගෙන ගැඹුරු පශ්චත්තාපයක යෙදූණි. ජේසු බිලිඳුන්ගේ සහ දේවමාතාවන්ගේ දර්ශනයකින් අනතුරුව තමන්ගේ ඉදිරි ජීවිතය තහවුරු කරගත් එතුමන් 1522 දී බෙනදිකානු තාපසාරාමයකට ගොස් තම පව්කාර අතීතය ගැන පසුතැවිලි වී පව් කමාව ලබා ගන්නා ලදී.

තම වටිනා ඇඳුම් පැළඳුම් දුප්පතුන් හට පරිත්‍යාගය කළ එතුමන් හණ රෙදි වලින් තම ගත වසා ගන්නා ලදී. යාචකයෙකු ලෙසද හුදකලාව තපස් ජීවිතයක් ගත කරමින් ද දවසට පැය හතක කාලයක් නොකඩවා යාච්ඤා කරමින් ද කාලය ගත කරන්නට එතුමන් යොමුවිය.

1523 සැප්තැම්බර් මස නැවතත් ශුද්ධ වූ දේශය කරා වන්දනා ගමනක යෙදෙන තුමන් දවස් විස්සක් පමණ එහි ගතකොට බාසිලෝනා නගරයට පැමිණ දේව ධර්ම ශාස්ත්‍රය හැදෑරීමට පටන් ගත්තේය.

1534 අගෝස්තු 15 වන දි එතුමන් තම මුළු ජීවිත කාලය පුරා වේද බාර පොරොන්දු ලබා ගන්නා ලදී. 1539 වසරේදී පීටර් ෆෙබර් සහ ෆ්‍රැන්සිස් සේවියර් සමග එක්ව ජේසු නිකාය ආරම්භ කරන ලද අතර එය 1540 දී අති උතුම් තුන් වන පෝල් ශුද්ධෝත්තම හිමිපාණන් විසින් අනුමත කරන ලදී. ඉග්නේෂියස් මුනිඳුන් ජේසු නිකායේ ප්‍රථම ෂ්‍රේෂ්ඨාධිපති පියතුමන් ලෙස සැලකේ. 1556 ජූලි 31 වන දින ඉතාලියේ රෝමයේදී තම අවසාන හුස්ම හෙළමින් එතුමන් සගලොව දිනා ගන්නා ලදී.

භාග්‍යවරයට එසවීම 1609 ජූලි 27 දින අති උතුම් පස් වන පාවුලු ශුද්ධෝත්තම හිමිපාණන් විසින්

ශුද්ධවන්ත භාවයට එසවීම, 1622 මාර්තු 12 දින අති උතුම් පහලොස් වන ග්‍රෙගරි ශුද්ධෝත්තම හිමිපාණන් විසින්. 
මෙතුමන් ජේසු නිකායේ නාමසාන්තුවරයා ලෙස සැලකේ.

#StIgnatiusLoyola #Prayforus
#Saintoftheday #RVASinhala

'RVASinhala' Facebook, Instagram, Twitter පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!