2025 ජුබිලි වර්ෂය ගැන ප්‍රශ්න 10ක්
2025 ජුබිලි වර්ෂය ගැන ප්‍රශ්න 10ක්
(𝐐 & 𝐀 𝐫𝐞𝐠𝐚𝐫𝐝𝐢𝐧𝐠 𝐭𝐡𝐞 𝟐𝟎𝟐𝟓 𝐉𝐮𝐛𝐢𝐥𝐞𝐞 𝐘𝐞𝐚𝐫)
2025 වසර ලෝවැසි කතෝලික බැතිමතුන්ට ඉතා සුවිශේෂී වසරක් වෙනවා. එයට ප්‍රධානම හේතුව 2025 "ජුබිලි වසරක්" වීමයි.
𝟏. මොකද්ද මේ "ජුබිලි වර්ෂය"?
ශුද්ධවූ බයිබලයේ තුන්වෙනි පොත හෙවත් 'ලෙවී කථාව' කියන පොතේ 25 වැනි පරිච්ඡේදයේ විස්තර කරලා තියෙන විදිහට, ගතවෙන සෑම හත්වෙනි අවුරුද්දක්ම "සබත් අවුරුද්දක්" ලෙස නම් කරන්නට දෙවියන් වහන්සේ ඉශ්රායෙල් ජනතාවට නියම කරනවා. සබත් වසරවල් හතක් (ඒ කියන්නේ අවුරුදු 49ක්) නික්මුනු පසුව එළඹෙන 50 වැනි අවුරුද්ද උන්වහන්සේ නම් කළා "ජුබිලි වසර" කියලා. එය සමාව හා සංහිඳියාවේ වසරක්. ඒ වසර පුරා වහලුන් නිදහස් කර, ණය කපා දමා, ඉඩම් එහි මුල් අයිතිකරුවන්ට නැවත ලබා දීලා, දෙවියන් වහන්සේ සමඟත් එකිනෙකා සමඟත් නැවත සමඟි වීමේ වසර තමයි මේ "ජුබිලි වසර". අපි අදත් සමරන්නේ ඒ බයිබලීය සම්ප්රදායම තමයි කියුවොත් එය නිවැරදියි.
𝟐. ජුබිලි වර්ෂයට ඒ නම ලැබුනේ ඇයි?
අං සහිත බැටළුවෙකුගේ (Ram) අඟින් සාදාගත් නළාවක් පිඹීමෙන් තමයි, පුරාණ ගිවිසුමේ ජුබිලි වර්ෂය ප්‍රකාශ කරනු ලැබුවේ. හෙබ්‍රෙව් භාෂාවෙන් ඔය නලාවට කියුවේ "යෝබෙල්" කියලා. පසුකාලීනව "ජුබිලි" යන වචනය උපදින්නේ එහෙමයි.
𝟑. බයිබලයේ ජුබිලි වර්ෂය එන්නේ අවුරුදු 50 කට වතාවක් නම්, කතෝලිකයන් එය වසර 25 කට වතාවක් සමරන්නේ ඇයි?
පළමු ජුබිලි වසර කතෝලික සභාවේ නිල වශයෙන් ආරම්භ කළේ 1300 දී වුනත්, සෑම වසර 25 කට වරක් ජුබිලි වසර සැමරීමේ වර්තමාන ක්‍රමවේදය ස්ථාපිත කළේ 1470 දීයි. ඒ කාලේ මනුෂ්‍ය ආයු කාලය අදට වඩා බොහෝ කෙටි නිසා, බොහෝ ඇදහිලිවන්තයන්ට තමන්ගේ ජීවිත කාලේ ජුබිලි වසරක් සමරන්නට ලැබිලා නැහැ. ඉතිං වැඩි පිරිසකට මේ විශේෂ අධ්‍යාත්මික මොහොතට සහභාගී වීමේ අවස්ථාව ලබා දෙන්නයි ජුබිලි වසරවල් දෙකක් අතර කාල පරතරය අවුරුදු 25 කට අඩුකර තිබෙන්නේ.
𝟒. 2025 ජුබිලි වර්ෂය ආරම්භ වුනේ කවදාද?
අති උතුම් ෆ්‍රැන්සිස් සුදොතුම් පියාණන් පසුගිය 2024 දෙසැම්බර් 25 නත්තල් දවසේදී ශාන්ත පීතර බැසිලිකාවේ ශුද්ධ වූ ද්වාරය (Holy Door) විවෘත කිරීමත් සමඟ මේ ජුබිලි වර්ෂය නිල වශයෙන් ආරම්භ වුනා.
𝟓. 2025 ජුබිලි වර්ෂය අවසන් වෙන්නේ කවදාද?
2026 ජනවාරි 6 වන දින ජේසු බිලිඳුන් ලොවට ප්රත්යක්ෂ වීමේ මංගල්‍යය (Epiphany) දිනෙන් ජුබිලි වර්ෂය නිල වශයෙන් අවසන් වෙනවා. මේ අවසානය සනිටුහන් කරමින් රෝමයේ ශාන්ත පීතර බැසිලිකාවේ ශුද්ධ වූ ද්වාරය (Holy Door) පාප් වහන්සේ විසින් නැවත වසාදැමීම ගරු ගාම්භීරව එදින සිදුකිරීමට නියමිතයි.
𝟔. ජුබිලි වසරකදී සෑම පදවියකම ප්‍රධාන දේවස්ථානවල ශුද්ධ වූ ද්වාරයන් විවෘත කෙරෙනවා. එහි තේරුම මොකද්ද?
ශුද්ධ ද්වාරයේ සම්ප්රදාය ඇති වුනේ 15වන ශත වර්ෂයේදීයි. ශුද්ධවූ දොරටුවෙන් සංඛේතවත් කරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවයි. වරෙක උන්වහන්සේ මෙලෙස පවසනවා: "දොරටුව මම ය; මා තුළින් යමෙක් ඇතුළු වන්නේ ද ඔහු ගළවනු ලැබ..." (ජොහාන් 10:9 කියවන්න). ඒ නිසා ශුද්ධවූ දොරටුව හරහා ගමන් කිරීම සංකේතවත් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ සමඟ සමීප සම්බන්ධතාවයකට ඇතුල් වීමයි. ඒ වගේම, එය අප එකිනෙකා සිය පාපය ගැන පසුතැවිලි වී දෙවියන් වහන්සේ වෙතට නැවත හැරීමට කෙරෙන ස්වර්ගීය ආරාධනාවත් සංකේතවත් කරනවා.
𝟕. ශුද්ධවූ ද්වාරය හරහා ගමන් කිරීමෙන් අපට මොනවාද ලැබෙන්නේ?
ඒ හරහා දෙවිඳුන් වෙතින් "පූර්ණ ඵල" (plenary indulgence) අත්වෙන බවයි කතෝලික ඇදහිල්ල වන්නේ. එය සරලව පැහැදිලි කර ගනිමු. පාපොච්චාරණ ප්‍රසාද නිධානය තුළ පව් සමාව දෙවිඳුන් වෙතින් ලැබෙන අපි දන්නවා. නමුත් පාපයේ ප්‍රථිපල ලෙස ඉතිරි වන එහි ප්‍රතිවිපාක, පව් සමාවත් සමඟ ඉබේ නැති වෙන්නේ නැහැ. දිගින් දිගටම ඒවා අපේ ජීවිත වලට බලපාන්න පුළුවන්. පාපයන් නිසා 'ස්වභාවයෙන්ම හිමිවන' (naturally inherited) "තාවකාලික වන්දිය" (temporal punishment) ලෙසින් මෙය හඳුන්වනවා."පූර්ණ ඵල" ලෙස සලකන්නේ මෙන්න මේ පව් කැළැල් / එහි ප්‍රතිවිපාක පවා දෙවිඳුන් වෙතින් මකා දමන්නට අපට දෙන වරප්රසාදයටයි. ජුබිලි වසරකදී ශුද්ධවූ ද්වාරයෙන් ඇතුල් වීමෙන් පාපයේ කැළල / ප්රතිවිපාකය අප වෙතින් දුරස් වන බව කිතුනු ඇදහිල්ලයි.
𝟖. නිකම්ම ශුද්ධවූ දොරටුවෙන් ඇතුල් වුනත් ඒ වරප්‍රසාද හිමි වෙනවාද?
කිසිසේත්ම නැහැ. ලොකු සූදානමක් අවශ්‍යයි. ශුද්ධ වූ ද්වාරය කියන්නේ "මැජික් දොරක්" නෙමෙයි. පාපොච්චාරණ සක්‍රමේන්තුව හරහා සිය පව් ගැන පශ්චාත්තාප වීම, අන් අයගේ වැරදි වලටත් සමාව දීම, පාප් වහන්සේගේ අභිප්රායන් සඳහා යාච්ඤා කිරීම, එදිනම දිව්‍ය පුජාව තුළ ජේසුව ලැබීම වැනි පුණ්‍ය ක්‍රියා සමඟයි ශුද්ධවූ දොරටුවෙන් ඇතුල් වන්නට කියා සභාව අපට ඇරයුම් කරන්නේ. දෙවියන් සමඟත්, එකිනෙකා සමඟත් නැවත සමඟි නොවී එම දොරටුවෙන් ඇතුළු වීම තමන්වම රවටා ගැනීමක් වැනියි. ඒ වගේම ශුද්ධවූ ද්වාරයක් තිබෙන දෙව්මැදුර වෙත යාම අධ්‍යාත්මික ගමනක් / වන්දනා ගමනක් කරගැනීමට හැකිනම්, එහි රසය සහ අගය තවත් වැඩි වන්නට එය හේතුවක් වේවි.
𝟗. මේ ජුබිලි වර්ෂයට නියමිත තේමාවක් තියෙනවාද?
ඔව්, එය තමයි "බලාපොරොත්තුවේ වන්දනාකරුවෝ" යන්න (Pilgrims of Hope). මේ වෙනුවෙන් Spes Non Confundit (බලාපොරොත්තුව අපව අත්නොහරියි) යන නමින් විශේෂ ලේඛනයක්ද පාප් තුමන් විසින් නිකුත් කළා. (එහි නිල නොවන සිංහල පරිවර්තනයක් Theology.lk වෙබ් පිටුවේ කියවිය හැකියි).
𝟏𝟎. "බලාපොරොත්තුවේ වන්දනාකරුවෝ" කියන තේමාව තෝරාගැනීමට විශේෂ හේතුවක් තිබෙනවද?
"බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවෙයි" කියන බයිබල් පාඨය (රෝම 5:5) මේ තේමාවට පසුබිම් වෙනවා. බොහෝදෙනෙකු දිවි ගෙවන්නේ බලාපොරොත්තු රහිත කාලයක නේද? එහෙම අවිනිශ්චිත කාලයක වුනත්, තමන්ට කෙසේ හෝ යහපතක් සිදුවේවි යැයි කියන අපේක්ෂාව නැති වෙන්නේ නැහැ. මෙම ජුබිලි වසර ඒ බලාපොරොත්තුව දෙවිඳුන් තුළම රඳවා ගන්නට අපට ආරාධනා කරනවා. අපගේ බව්තීස්මය තුළින්, අපි බලාපොරොත්තුවේ වන්දනාකරුවන් වෙනවා. මේ ජීවිත වන්දනා ගමනේදී විටින් විට වෙහෙසිලා නවතින්න හිතෙද්දී අපේ නැංගුරම විය යුත්තේ මේ නොනවතින බලාපොරොත්තුවයි.
ගරු ශානිල් ජයවර්ධන නි.ම.නි. පියතුමාගේ සටහනක් ඇසුරිනි.
#JubileeYear2025 #RVASinhala
#VeritasAsia
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!