ලංකාවේ අප ස්වාමිදූගේ මංගල්‍යය
අද ශ්‍රී ලංකා අප මව්බිමේ ආරක්ෂාකාරිය වන ලංකාවේ අප ස්වාමිදූගේ මංගල්‍යයයි.
"ශ්‍රී ලංකා අප ස්වාමිදුව" - Our Lady of Sri Lanka".
"ශ්‍රී ලංකා රාණි මෑණියෝ", "මාතර මෑණියෝ", "මරුද මඩු මාතාවෝ" හා "ශ්‍රී ලංකා අප ස්වාමි දුව" යන නාමයන් ශ්‍රී ලාංකික අපට පමණක් ආවේණික වූ දේව මාතාවන් හා බැඳුණු නාමයන්ය.
මේ අතරින් ශ්‍රී ලාංකික සැමට පොදු නාමයක් වන "ශ්‍රී ලංකා අප ස්වාමිදුව" යන නාමය පිළිබඳව යම් දැනුමක් ලබා ගැනීමට අපි දැන් යොමු වෙමු.
ක්‍රිස්තු වර්ෂ 1939 දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වන විට ශ්‍රී ලංකාව තිබුනේ එංගලන්තයේ යටත් විජිතයක් ලෙස ය. හිට්ලර් යුරෝපය යටත් කරගනිමින් ඉදිරියට ඇදෙද්දී, ජපානයේ හිරෝහිතෝ අධිරාජ්‍යා ආසියාවේ බොහෝ රටවල් යටත් කරගනිමින් ඉදිරියට ඇදුනු අතර ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වූයේ ශ්‍රී ලංකාවය. ත්‍රිකුණාමල වරායේ ඇති වැදගත්කම නිසාම ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමේ අවශ්‍යතාවය ජපානයට තිබුණි.
එවිට 1940 මැයි 26 වැනිදා එවකට කොළඹ අගරදගුරු ව සිටි අති උතුම් ජෝන් මේරි මසොන් හිමිපාණන් තේවත්තේ තිබූ කුඩා දෙව්මැදුරට පැමිණ ශ්‍රී ලංකාව යුද්ධයෙන් බේරා දෙන ලෙසටත්, එයට ස්තූතියක් වශයෙන් තේවත්ත භූමිය තුළ දේව මාතාවන්ට කැප වූ විශේෂ බැසිලිකාවක් තනන බවටත් පොරොන්දු වී ඇත.
1942 අප්‍රේල් 05 දා ජපනුන් ලංකාවට බෝම්බ හෙළිය. කොළඹ වරාය හා ත්‍රිකුණාමලය වරාය ඔවුන්ගේ ඉලක්ක විය. නමුත් ඔවුන් බලාපොරොත්තු වූ විනාශය සිදු නොවීය. එලෙසම ඔවුන්ට දරුණු පහර කෑමකට ද ලක්වන්නට සිදුවිය. ජපනුන් ලංකාවේ දී ලැබූ පරාජය ඔවුන්ගේ පසුබැසීමට හේතුවක් වූ බවත්, බ්‍රිතාන්‍යයට යුද්ධය ජය ගැනීමට මූලික කරුණක් වූ බවත් එවකට බ්‍රිතාන්‍යයේ අගමැතිව සිටි වින්ස්ටන් චර්චිල් ශ්‍රීමතාණන් වරෙක ප්‍රකාශ කර ඇත.
1945 අගෝස්තු මස දෙවන ලෝක යුද්ධය අවසන් විය. 1946 දී රෝමයට ගිය අගරදගුරු හිමිපාණන් ශුද්ධෝත්තම පියාණන්ට තමන් කළ භාරය පිළිබඳව දැනුවත් කර දෙව්මව් "ශ්‍රී ලංකා අප ස්වාමිදුව" ලෙස නම් කිරීමට අවසරය ඉල්ලා ඇත. ඒ අනුව දොළොස් වන පියුස් ශුද්ධෝත්තම පියාණන් විසින් ඒ සඳහා අවසරය ලබාදී ඇති අතර 1947 පෙබරවාරි 15 වැනිදා නිල වශයෙන් දේවමාතාවන් "ශ්‍රී ලංකාවේ අප ස්වාමිදුව" ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.
1948 ජූලි 28 අති උතුම් මසොන් අගරදගුරු හිමිපාණන් ස්වර්ගස්ථ විය. එදා සිදුකල භාරය ඉටු කිරීමේ භාරදූර වගකීම පැවරුණේ කොළඹ අගරදගුරු ලෙස ඉන් පසු පත් වූ අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ට ය.
ඒ අනුව එවකට රට වටා වන්දනා ගමනක නිරත වූ පාතිමා මාතාවන්ගේ ප්‍රතිමාව ඉදිරිපිට 1950 ජූලි 15 දී බැසිලිකාව තැනීමේ පළමු පස් පිඩැල්ල කපන ලදී.
1951 පෙබරවාරී 4 වැනිදා බැසිලිකාවට මුල්ගල තබා ඇත. ස්පාඤ්ඤ ජාතික ජේසු නිකායික ගරු හෙරාස් පියතුමාගේ සැලැස්මට අනුව බැසිලිකාව ඉදිවීමට පටන් ගෙන ඇත.
බැසිලිකාව තැනුනේ ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවගෙන් ලැබුණු ආධාර මත ය.
මුළු බැසිලිකාවම තනි කළු ගලින් තනා ඇත. "පේදුරු ඔබ පර්වතයකි. එම පර්වතය මත මාගේ සභාව ගොඩ නගන්නෙමි". (ශු. මතෙව් 16:18) යන්න ඉන් සිහිපත් කරනු ලැබේ. බැසිලිකාවේ අල්තාරය තනි සුදු ගලකින් තනා ඇත. ඒ සඳහා සම්පූර්ණ වියදම එම කාලයේ පාසල් දරුවන් එකතු කළ මුදල විය.
බැසිලිකාව ඉදිරිපස ඇති ගල් කණු හය එවකට ශ්‍රී ලංකාවේ පදවි වූ, කොළඹ, යාපනය, නුවර, ත්‍රිකුණාමලය, හලාවත, හා ගාල්ල නියෝජනය කිරීමට ගොඩනැගුණි.
ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ ප්‍රතිමාවේ හැඩය නිර්මාණය කළේ අතිගරු තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් විසින්මය. එම කාලයේ අප රටේ පාතිමා මාතාවන්ගේ ප්‍රතිමාව වන්දනා ගමනක නිරතව සිටි අතර බොහෝ ජනයා අතර ඒ නිසාම 'පාතිමා බැතිය' පැතිරුණු කාලයක් විය. එමනිසා කාදිනල් හිමිපාණන් "ශ්‍රී ලංකා අප ස්වාමිදුව" ද පාතිමා මාතාවන්ගේ හැඩයට නිර්මාණය කළේය. එලෙසම එතුමියගේ දෑතට ජප මාලයක් අතින් ගත් ජේසු බිළිඳුන් එකතු කොට ඇත.
ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ කුඩා ප්‍රතිමාවක් මුලින්ම පාතිමා නුවර දී ම නිර්මාණය කොට 1952 නොවැම්බර් 05 වන දින 12 වන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් ආසිරි ගන්වා ඇත. මෙය අප දේශයට වැඩම කළේ 1952 දෙසැම්බර් 11 වැනි දායි. එය අද බැසිලිකාවේ ඇතුළත ස්ථාපිත කර ඇති අතර සැදැහැවතුන් සිපාචාර කරන්නට පැමිණෙන්නේ එම ප්‍රතිමාවයි.
එසේම තවත් "ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ" විශාල ප්‍රතිමාවක් පාතිමා නුවර දී ම දේවදාර ලීයෙන් නිර්මාණය කොට ලංකාවට රැගෙන ආ අතර එය ස්ථාපිත කර ඇත්තේ පූජාසනයට ඉහළින්ය. ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ අතේ ඇති ජේසු සමිඳුන්ගේ එක් අතක ජපමාලයයි. අනෙක් අත දේවමාතාවන් වෙත දිගු කර ඇත. එහි තේරුම දේවමාතාවන්ට ළඟාවීමට ඇති මාර්ගය ජපමාලය බවයි.
ප්‍රතිමාව පසුබිම ඇත්තේ ඔරායන් නැමැති තරු පන්තිය වේ. එය සදා පැවැත්ම සලකුණු කරනු ලැබේ. ප්‍රතිමාවේ පාදම ශ්‍රී ලංකාවේ ජාතික ගස වන නා ගසේ කොළ සහ මල් තුනකින් සරසා ඇත. එය දේශීය අනන්‍යතාවය ප්‍රකාශ කරයි. ජේසු බිලිඳුන්ගේ හදවත මත තරුවක් ඇත. එය ජේසුස් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තැබිය යුතු බව ප්‍රකාශ වේ.
1974 පෙබරවාරි 6 වැනිදා අතිගරු තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් සහ ශ්‍රී ලංකාවේ සියලුම රාජගුරු ප්‍රසාදී වරුන්ගේ සහභාගිත්වයෙන් තේවත්තේ බැසිලිකාව අභිෂේක කරන ලදී. ශ්‍රී ලංකා අප ස්වාමිදූගේ මංගල්‍යය සෑම වසරකම පෙබරවාරි 4 වන දින සමරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ අප ස්වාමිදුව නිරතුරුවම අප දේශයේ විවිධාකාර විනාශකාරී තත්ත්වයන්ට මුහුණ දුන් විට අප දේශය වෙනුවෙන් මැදිහත් වූ මාතාවයි. තිස් වසරක යුද්ධය පැවතුණු විටද අප දිනපතා යාච්ඤා කළේ එම මාතාවන්ගේ මැදිහත් කම ඉල්ලීමනුයි. අද අපගේ රටත්, මුළු ලෝකයත් විනාශකාරී යුගයකට පා තබා ඇති සමයක ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ මැදහත්කම තුළ සැනසීම පතා මරිය මාතාවන් වෙතට අපි හැරෙමු.
"ශ්‍රී ලංකා අප ස්වාමිදුවනී - අප නිසා යාච්ඤා කළ මැනව."
- ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමාගේ සටහනක් ඇසුරෙනි.
#OurLadyofLanka #Thewatte #ThewatteBasilica
#RVASinhala
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!