දවසේ සුපුවත 2024 මැයි 29
දවසේ සුපුවත 2024 මැයි 29
ශු. මාක් 10: 32 – 45
32 ජේසුස් වහන්සේ සහ ශ්‍රාවකයෝ ජෙරුසලමට යන මාර්ගයෙහි යමින් සිටියහ. ජේසුස් වහන්සේ විස්මිතව සිටි ශ්රාවකයින්ට පෙරටුව වැඩිය සේක. පසුපස්සේ ගිය සෙනඟ භීත වී සිටියහ. උන් වහන්සේ යළිත් දොළොස් දෙනා කැඳවා තමන් වහන්සේට සිදු වන්න යන දේ කියන්න පටන්ගෙන, 33 ”බලන්න, අපි ජෙරුසලමට යම්හ. මනුෂ්‍ය-පුත්‍රයාණෝ නායක පූජකවරුන්ටත්, විනයධරයන්ටත් පාවා දෙනු ලබති. ඔව්හු එතුමාණන් මරණයට නියම කොට විජාතීන්ට පාවා දෙන්නෝ ය. 34 ඔව්හු එතුමාණන්ට නින්දා කොට, කෙළ ගසා, කසවලින් තළා මරණයට පත් කරන්නෝ ය. තෙ දිනකට පසු එතුමාණෝ උත්ථාන වන සේකැ”යි වදාළ සේක. 35 සෙබදීගේ පුත් ජාකොබ් ද ජොහන් ද උන් වහන්සේ වෙත අවුත්, ”ගුරුදේවයෙනි, අප ඉල්ලන දේ ඔබ අපට ඉටුකර දෙන සේක් නම් අපි කැමැත්තෙමු”යි කී හ. 36 ”මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමැත්තහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. 37 ”ඔබගේ තේජශ්‍රීයෙහි දී, අපෙන් එක් කෙනෙකුට ඔබගේ දකුණු පස ද, එක් කෙනෙකුට වම් පස ද හිඳගන්නට වර දුන මැනවැ”යි ඔව්හු උන් වහන්සේට කී හ. 38 එහෙත් ජේසුස් වහන්සේ, ”ඔබ ඉල්ලන්නේ කුමක් දැ යි ඔබ ම නොදන්නහු ය. මා බොන දුක් වේදනා නමැති කුසලානෙන් බොන්න හෝ මා ලබන බව්තීස්ම-ස්නාපනය ලබන්නට හෝ ඔබට හැකි දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. 39 ”අපට හැකිය”යි ඔව්හු උන් වහන්සේට කී හ. ජේසුස් වහන්සේ ද, ”මා බොන කුසලානෙන් ඔබත් බොනු ඇත. මා ලබන බව්තීස්ම-ස්නාපනයෙන් ඔබත් බව්තීස්ම-ස්නාපනය ලබනු ඇත. 40 එහෙත්, මාගේ දකුණු පස ද වම් පස ද ඉඳගන්න දීම මා සතු දෙයක් නොවේ. යම් අය සඳහා එය නියම කර ඇද්ද, එය අයිතිවන්නේ ඔවුන්ට ය”යි වදාළ සේක.
41 එවිට අනික් දස දෙනා ඒ අසා ජාකොබ් සහ ජොහන් සමඟ අතිශයින් කෝප වූ හ.
42 ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙතට කැඳවා මෙසේ වදාළ සේක: ”විජාතීන් අතර ආණ්ඩුකාරයන් වශයෙන් සම්මත වූවන් ඔවුන් කෙරේ ආධිපත්‍යය පවත්වන බවත්, ඔවුන්ගේ ප්‍රධානීන් ඔවුන් කෙරෙහි බලය පාන බවත් ඔබ දන්නහු ය. 43 එහෙත්, ඔබ අතර එසේ නොවේ. ඔබ අතර ප්‍රධානියා වන්න කැමැති යමෙක් ඇද්ද, ඔහු ඔබේ සේවකයා විය යුතු ය. 44 ඔබ අතර ස්වාමියා වන්න කැමැති යමෙක් ඇද්ද, ඔහු සියල්ලන්ගේ දාසයා විය යුතු ය. 45 කුමක් හෙයින් ද මනුෂ්‍ය-පුත්‍රයාණන් වුව ද වැඩියේ, සේවය ලැබීමට නොව සේවය කිරීමට ය; බොහෝ දෙනා උදෙසා මිදීමේ මිලයක් වී සිය දිවි පිදීමට ය.”
#DailyScripture
#RVASinhala
'RVASinhala' Facebook, Instagram, Twitter පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!