දවසේ සුපුවත 2024 මාර්තු 27

දවසේ සුපුවත 2024 මාර්තු 27
ශු. මතෙව් 26 : 14 -  25
14 තවද දොළොස් දෙනාගෙන් කෙනෙකු වූ ජූදස් ඉස්කාරියොත් නායක පූජකයන් වෙත ගොස්, 15 ”ජේසුස් වහන්සේ ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක් දැ”යි ඇසී ය. ඔව්හු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ. 16 එතැන් පටන් ඔහු උන් වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් සෙවී ය.
17 නුමුහුන් රොටි මංගල්‍යයේ පළමු වන දින ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, ”පාස්කු භෝජනය වළඳන පිණිස අප කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ. 18 ජේසුස් වහන්සේ ද, ”ඔබ නගරයේ සිටින අසවල් මනුෂ්‍යයා වෙතට ගොස්, ‘මාගේ නියමිත මොහොත ළං ව ඇත; මාගේ ශ්‍රාවකයන් සමඟ ඔබේ නිවසේ දී පාස්කු භෝජනය පවත්වමි යි ගුරුදේවයන් වහන්සේ කියන සේකැ’යි ඔහුට දන්වන්නැ”යි වදාළ සේක. 19 ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ ඔවුන්ට අණ කළ ලෙස පාස්කු භෝජනය පිළියෙළ කළහ. 20 සවස් වූ කල උන් වහන්සේ ප්‍රේරිතයන් දොළොස් දෙනා සමඟ කෑමට හිඳගත් සේක. 21 ඔවුන් කෑම කමින් සිටිය දී, උන් වහන්සේ කතා කොට, ”සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක. 22 ඔව්හු අතිශයින් ශෝක ව එකිනෙකා, ”ස්වාමීනි, ඒ මම දැ”යි අසන්න පටන් ගත්හ. 23 උන් වහන්සේ උත්තර දෙමින්, ”මා සමඟ එක පාත්‍රයේ අතලන තැනැත්තේ මා පාවා දෙන්නේ ය. 24 මනුෂ්‍ය-පුත්‍රයාණන් ගැන ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස ම ඔහු නියමිත ගමන යන්නේ ය. එහෙත්, මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන යම් මනුෂ්‍යයෙක් වේ ද, ඔහුට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳ ය”යි වදාළ සේක. 25 උන් වහන්සේ පාවා දුන් ජූදස් උත්තර දෙමින්, ”ගුරුදේවයෙනි, ඒ මම දැ”යි ඇසී ය. ”වෙන කවුදැ”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක.
#DailyScripture
#RVASinhala
'RVASinhala' Facebook, Instagram, Twitter පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!